ආසියානු කුසලාන පාපන්දු තරගාවලියට සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියේ තුන් වැනි වටයට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකාව සමත්වෙයි..!!

සැප්තැම්බර් 11, 2024 - Sudarsha Warnakulasooriya

  • Football
  • Popular
  • Recent
  • Sinhala
  • Trending

2027 ආසියානු කුසලාන පාපන්දු තරගාවලියට සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියේ තුන් වැනි වටයට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා.

ඒ කාම්බෝජය සමග පැවති දෙවැනි තරගය දඬුවම් පහර මගින් ජයග්‍රහණය කිරීමත් සමඟයි.

අදියර දෙකක් යටතේ පැවති මෙහි පළමු තරගය ජය පරාජයෙන් තොරව අවසන් වුනා. තරගය දෙපිලටම තීරණාත්මක වුණේ මීළඟ වටයට සුදුසුකම් ලබා ගැනීමට නම් මෙහි ජයග්‍රහණය අනිවාර්ය වීම හේතුවෙන්.

කාම්බෝජයේ දී පැවති අද තරගය ආරම්භයේ සිටම තියුණු මුහුණුවරක් ගත්තා. තරගයේ පළමු ගෝලය 38 වැනි මිනිත්තුවේදී ශ්‍රී ලංකාව වාර්තා කළා.

එම ගෝලය ලබා ගත්තේ ඔලිවර් කෙලාට් විසින්. ඒ අනුව තරඟයේ පළමු අර්ධය අවසන් වුනේ ගෝල එකට බිංදුවක් ලෙස ශ්‍රී ලංකාව පෙරමුණ ගනිමින්.

අනතුරුව කාම්බෝජය තම පළමු ගෝලය ලබා ගත්තේ තරඟයේ 51 වැනි මිනිත්තුවේදී. තරඟයේ නියමිත කාලය අවසන් වන විට දෙපිලම ගෝල එක බැගින් වාර්තා කර සම තත්ත්වයේ පසුවුණා.

ඒ අනුව ජය පරාජය තීරණය කිරීමට අතිරේක කාලයක් ලබා දුන්නා. එහිදී 99 වැනි මිනිත්තුවේදී කාම්බෝජයේ ගෝලයක් වාර්තා කළේ ජයග්‍රහණය පිළිබඳ වැඩි බලාපොරොත්තු තම කණ්ඩායම වෙතට යොමු කර ගනිමින්.

නමුත් තරගයේ අවසන් මිනිත්තුවේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්ලව්ඩියා මැට්තිහස් ගෝලයක් වර්තා කිරීමත් සමඟ යළිත් ගෝල තත්ත්වය සම වුණා.

ඒ අනුව ජය පරාජය තීරණය කිරීමට දඬුවම් පහර ලබාදුන්නා. කාම්බෝජයේ එල්ල කළ පළමු දඬුවම් පහර දෙක අසාර්ථක වුණේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක සුජාන් පෙරේරාගේ සුපිරි ගෝල රැකීමත් සමග.

අනතුරුව ඔවුන් දඬුවම් පහර දෙකක් සාර්ථක කර ගත්තා. අනතුරුව ශ්‍රී ලංකාව දඬුවම් පහර හතරක් සාර්ථක කර ගැනීමත් සමඟ ජයග්‍රහණය ශ්‍රී ලංකාව සතු වුනා.

මෙම ජයග්‍රහණයත් සමඟ ශ්‍රී ලංකා කණ්ඩායමට තරගාවලියේ තුන්වෙනි වටයට සුදුසුකම් ලබා ගැනීමේ අවස්ථාව හිමි හිමි වුණා.

මේ අතර මෙම ජයග්‍රහණය හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම් අනුව 201 හෝ 200 ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමේ අවස්ථාවද හිමිවනවා.