Women’s Cricket

2024 ලෝක කුසලාන කාන්තා 20-20 ක්‍රිකට් කිරුළ නවසීළන්තයට !!

2024 ලෝක කුසලාන කාන්තා 20-20 ක්‍රිකට් කිරුළ හිමි කර ගැනීමට නවසීළන්ත කණ්ඩායම සමත් වුණා. ඒ අවසන් තරගයේදී දකුණු අප්‍රිකා කණ්ඩායම ලකුණු 32 කින් පරාජය කරමින්. නවසීලන්ත කණ්ඩායම 20-20 කාන්තා ක්‍රිකට් කිරුළ හිමි කර ගත් පළමු අවස්ථාව මෙයයි. ඩුබායි අන්තර් ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති අවසන් තරගයේ කාසියේ වාසිය හිමි කර ගත් දකුණු අප්‍රිකාව පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව නවසීළන්තයට ලබා දුන්නා. නවසීලන්ත ඉනිම ආරම්භ කලේ සුසී බේට්ස් සහ ජෝර්ජියා පෙලිමර්. ආරම්භක කඩුල්ලේ සබධතාව ලකුණු 16 ක් වන විට පෙලිමර් ලකුණු 9 කට දැවී ගියා.සූසි බේට්ස් ලකුණු 32 කට සහ සොෆී ඩිවයින් ලකුණු 6 කට දැවී ගියා. බෲක් හැලිඩේ ලකුණු 38 ක් රැස් කළා. ඉනිමේ වැඩිම ලකුණු ලාභිනිය වූ අමේලියා කේර් ලකුණු 44 යි. නවසීළන්ත කණ්ඩායම පන්දු වාර 20 ඇතුලත කඩුලු 5 ක් දැවී ලකුණු 158 ක් රැස් කළා. මෙය 20-20 කාන්තා ලෝක කුසලාන අවසන් තරගයක පළමුවෙන් පන්දුවට පහර දුන් කණ්ඩායමක් රැස් කළ දෙවැනි වැඩිම ලකුණු සංඛ්‍යාවයි. තරගය ජය ගැනීම සදහා ලකුණු 159 ක ඉලක්කයක් හඹා යමින් දකුණු අප්‍රිකා ඉනිම ආරම්භ කලේ ලවුරා වොල්වර්ට් සහ ටස්මින් බර්ට්ස්. ඔවුන් දෙදෙනා අතර ආරම්භක කඩුල්ලේ සබධතාව ලකුණු 51 ක්. පළමු කඩුල්ල ලෙස ටස්මින් බර්ට්ස් ලකුණු 17 ක‌ට දැවී ගියා. නායිකා ලවුරා වොල්වර්ට් පන්දු 27 කදී ලකුණු 33 ක් රැස් කළා. අනෙකා බොස්ච් ලකුණු 9 යි. ලකුණු 8 ක් රැස් කර ගෙන සිටි මරයිසන් කේප් දකුණු අප්‍රිකා ඉනිමේ සිව්වැනි කඩුල්ල ලෙස දැවී ගියා. දකුණු අප්‍රිකා කණ්ඩායම පන්දු වාර 20 ඇතුලත කඩුලු 9 ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 126 ක්. ඒ අනුව නවසීළන්ත කණ්ඩායම පළමු වරට ලෝක 20-20 කාන්තා ක්‍රිකට් කිරුළ හිමි කරගැනීමට සමත් වුණා. තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව සහ තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව යන සම්මාන ද්විත්වයම හිමි කර ගත්තේ අමේලියා කේර්.

ඔක්තෝබර් 20, 2024 - Sudarsha Warnakulasooriya

ලෝක කුසලාන 20-20 කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශූරියන් අද (20) තීරණය වනවා..!!

ලෝක කුසලාන 20-20 කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශූරියන් අද තීරණය වනවා. ඒ, දකුණු අප්‍රිකාව සහ නවසීලන්තය අතර පැවැත්වෙන අවසන් මහා තරගයේ ප්‍රතිඵල අනුවයි. ලෝක කුසලාන 20-20 කාන්තා ක්‍රිකට් තරගාවලිය පැවැත්වෙන 9 වැනි අවස්ථාව මෙයයි. තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගයේදී ඔස්ට්‍රේලියාව පරාජය කරමින් දකුණු අප්‍රිකාව අවසන් තරගයට සුදුසුකම් ලැබුවා. පසුගිය වසරේ දකුණු අප්‍රිකාවේදී පැවති ලෝක කුසලාන 20-20 කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීමට දකුණු අප්‍රිකාව සමත් වුණා. නමුත්, එහිදී ඔවුන් ‍ඔස්ට්‍රේලියාව හමුවේ පරාජය වුණා. ප්‍රතිවාදී නවසීලන්ත කණ්ඩායම අවසන් තරගයට සුදසුකම් ලැබුවේ දෙවැනි අවසන් පූර්ව තරගයේදී බටහිර ඉන්දීය‍ කොදෙවේ කණ්ඩායම පරාජය කරමින්. නවසීලන්ත කණ්ඩායම ලෝක කුසලාන 20-20 කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලැබූ 3 වැනි අවස්ථාව මෙයයි. මීට පෙර නවසීලන්තය 2009 සහ 2010 වසර වලදී තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලැබුවා. නමුත්, එම අවස්ථා දෙකේදීම ඔවුන් අවසන් තරගයේදී පරාජයට පත් වුණා. ඒ අනුව, මෙවර ලෝක කුසලාන 20-20 කාන්තා ක්‍රිකට් තරගාවලියේදීයේදී නව ශූරයෙක් තීරණය වීමට නියමිතයි.

ඔක්තෝබර් 20, 2024 - Sudarsha Warnakulasooriya

නවසීළන්තය ලෝක කුසලාන 20-20 කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලබයි..!!

ලෝක කුසලාන 20-20 කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීමට නවසීළන්ත කණ්ඩායම සමත් වුණා. ඒ දෙවැනි අවසන් පූර්ව තරගයේදී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පරාජය කරමින්. නවසීලන්තය මෙම තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලබා ගත් තුන්වැනි අවස්තාව මෙයයි. සාජායිදී පැවැති දෙවැනි අවසන් පූර්ව තරගයේ කාසියේ වාසිය හිමි කර ගත් නවසීළන්ත කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කලා. නවසීලන්ත ඉනිම ආරම්භ කළේ සුසී බේට්ස් සහ ජෝර්ජියා පෙලිමර්. ඔවුන් දෙදෙනා පළමු කඩුල්ලට ලකුණු 48 ක සබධතාවක් ගො‌ඩ නැගුවා. ජෝර්ජියා පෙලිමර් ලකුණු 33 ක් රැස් කළ අතර සුසී බේට්ස් ලකුණු 26 යි. නවසීලන්ත කණ්ඩායම පන්දු වාර 20 ඇතුලත කඩුලු 9 ක් දැවී ලකුණු 128 ක් රැස් කළා. ඉසබෙලා ගේස් නොදැවී ලකුණු 20 යි. පන්දු යැවීමේදී ඩේනඩ්‍රා ඩොටින් කඩුලු 4 ක් දවා ගත්තා. තරගය ජය ගැනීම සදහා ලකුණු 129 ක ඉලක්කයක් සමග කොදෙව් ඉනිම ආරම්භ කළේ හේලි මැතිව්ස් සහ කියානා ජෝෂප්. ඔවුන් දෙදෙනා අතර ආරම්භක කඩුල්ලේ සබධතාව ලකුණු 16 ක්. පළමු කඩුල්ල ලෙස කියානා ජෝෂප් ලකුණු 12 කටත්, දෙවැනි කඩුල්ල ලෙස ශෙමයිනි කැම්බල් ලකුණු 3 කටත් දැවී ගියා. ස්ටෙෆනි ටේලර් ලකුණු 13 යි. හේලි මැතිව්ස් ලකුණු 15 යි. කොදෙව් ක්‍රීඩිකාවන් පන්දු වාර 20 ඇතුලත කඩුලු 8 ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 120 ක්. ඒ අනුව නවසීළන්ත කණ්ඩායම තරගය ජය ගත්තේ ලකුණු 8 කින්. ලෝක කුසලාන කාන්තා 20 20 තරගාවලියේ අවසන් මහා තරගයට නවසීළන්තය සුදුසුකම් ලැබූ තුන්වැනි අවස්ථාව මෙයයි. ඒ අනුව තරගාවලියේ අවසන් මහා තරගය නවසීලන්තය සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන්නේ ඩුබායි අන්තර් ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීයි. තවමත් දකුණු අප්‍රිකාව හෝ නවසීළන්තය 20-20 ලෝක ක්‍රිකට් ක්‍රිකට් කිරුළ ජය ගෙන නැහැ.

ඔක්තෝබර් 18, 2024 - Sudarsha Warnakulasooriya

දකුණු අප්‍රිකාව2024 ලෝක කුසලාන 20 20 කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලබයි.

ලෝක කුසලාන 20 20 කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීමට දකුණු අප්‍රිකාව සමත් වුණා. ඒ අවස්ථා 6 කදී 20-20 කාන්තා ලෝක ක්‍රිකට් කිරුළ දිනූ ඔස්ට්‍රේලියාව පරාජය කරමින්. දකුණු අප්‍රිකාව මෙම ලෝක කුසලාන තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලැබූ දෙවැනි අවස්ථාව මෙයයි. ඩුබායි හිදී පැවැති පළමු අවසන් පූර්ව තරගයේ කාසියේ වාසිය හිමි කර ගත් දකුණු අප්‍රිකාව පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව ඔස්ට්‍රේලියාවට ලබා දුන්නා. ඔස්ට්‍රේලියා ඉනිම ආරම්භ කළේ ග්‍රේස් හැරිස් සහ බෙත් මූනි. ඔවුන් දෙදෙනා අතර ආරම්භක කඩුල්ලේ සබධතාව ලකුනු 7 ක්. හැරිස් ලකුණු 3 කට පළමු කඩුල්ල ලෙසත්, ජෝර්ජියා වර්හැම් ලකුණු 5 කට දෙවැනි කඩුල්ල ලෙසත් දැවී ගියා. ටහිලා මැග්‍රාත් ලකුණු 27 යි. පන්දු 42 කදී ලකුණු 44 ක් රැස් කළ බෙත් මූනි දැවී ගියේ ඔස්ට්‍රේලියා ඉනිමේ සිව්වැනි කඩුල්ල ලෙස. එලීසා පෙරී ලකුණු 31 යි. ඔස්ට්‍රේලියාව පන්දු වාර 20 ඇතුළත කඩුලු 5 ක් දැවී ලකුණු 134 ක් රැස් කළා. පිලිතුරු ලෙස දකුණු අප්‍රිකා ඉනිම ආරම්භ කලේ ලවුරා වොල්වර්ට් සහ ටස්මින් බර්ට්ස්. ඔවුන් දෙදෙනා පළමු කඩුල්ලට ලකුණු 25 ක සබධතාවක් ගොඩනැගුවා. බර්ට්ස් ලකුණු 15 යි. අනතුරුව දකුණු අප්‍රිකාවේ ජයග්‍රහණය වෙනුවෙන් සාර්තක පිතිහරඹයක නිතර වූ ලවුරා වොල්වර්ට් සහ අනෙකා බොස්ච් දෙවැනි කඩුල්ලට ගොඩනැගූ සබධතාව ලකුණු 96 ක්. ලවුරා වොල්වර්ට් ලකුණු 42 කට දැවී ගියා. දකුණු අප්‍රිකාව තරගය ජය ගත්තේ පන්දු වාර 17 යි පන්දු 2 කදී කඩුලු 2 ක් දැවී ලකුණු 135 ක් රැස් කරමින්. විශිෂ්ට පිතිහරඹයක නිතර වූ අනෙකා බොස්ච් පන්දු 48 කදී නොදැවී ලකුණු 74 ක් රැස් කළා. 20-20 කාන්තා ලෝක කුසලාන තරගාවලියකදී දකුණු අප්‍රිකාව හමුවේ ඔස්ට්‍රේලියාව පරාජය වූ පළමු අවස්ථාව මෙයයි. දකුණු අප්‍රිකාව ලෝක කුසලාන කාන්තා 20-20 ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලැබූ දෙවැනි අවස්ථාව මෙයයි. ඔවුන් පසුගිය වසරේදී මෙම තරගාවලියේ අනුශුරතාව හිමි කර ගත්තා. අවසන් තරගයේදී දකුණු අප්‍රිකා කණ්ඩායමේ ප්‍රතිවාදීන් තීරණය වන දෙවැනි අවසන් පූර්ව තරගය පැවැත්වෙන්නේ නවසීලන්ත සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර. එය සාජා ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා

ඔක්තෝබර් 17, 2024 - Sudarsha Warnakulasooriya

ලෝක කුසලාන කාන්තා 20 – 20 ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරගය හෙට (17) ආරම්භවනවා..!!

ලෝක කුසලාන කාන්තා 20 – 20 ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරගය හෙට ආරම්භවනවා. ඊයේ පැවැති තරගයෙන් කොදෙව් ක්‍රීඩිකාවන් ජය ගත්තේ එංගලන්තය පරාජය කරමින්. කොදෙව් - එංගලන්ත කණ්ඩායම් අතර තරගය පැවැත්වුණේ ඩුබායිහිදී. පළමුවෙන් පන්දුවට පහර දුන් එංගලන්ත කණ්ඩායම පන්දු වාර 20 ඇතුලත කඩුලු 7 ක් දැවී ලකුණු 141 ක් රැස් කළා. වැඩිම ලකුණු ලාභිනිය වූ නෙට් ශිවර් බ්‍රන්ට් ලකුණු 51 යි. පන්දු යැවීමේදී ඇෆී ‌ෆ්ලෙචර් කඩුලු 3 ක් දවා ගත්තා. පිලිතුරු ලෙස බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම තරගය ජය ගත්‌තේ පන්දු වාර 18 ක් අවසානයේ කඩුලු 4 ක් දැවී ලකුණු 144 ක් රැස් කරමින්. කියානා ජෝෂප් ලකුණු 52 ක් රැස් කළ අතර හේලි මැතිව්ස් ලකුණු 50 යි. තරගයෙන් කොදෙව් කණ්ඩායම ජය ගත්තේ කඩුලු 6 කින්. තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය ඔස්ට්‍රේලියා සහ දකුණු අප්‍රිකා කණ්ඩායම් අතර පැවැත්වෙනවා. දෙවැනි අවසන් පූර්ව තරගය පැවැත්වෙන්නේ නවසීළන්ත සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතරයි.

ඔක්තෝබර් 16, 2024 - Sudarsha Warnakulasooriya

නවසීලන්තය කාන්තා ලෝක කුසලාන කාන්තා 20-20 ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට..!!

ලෝක කුසලාන කාන්තා 20-20 ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට නවසීලන්තය සමත් වුණා. තීරණාත්මක තරගයේදි ඔවුන් හමුවේ පරාජයට පත් වුණේ පකිස්ථානයයි. තරගයේ කාසියේ වාසිය හිමි කර ගත් නවසීලන්තය පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළා. ඒ අනුම නවසීලන්තය පන්දු වාර 20 ඇතුලත කඩුලු 6 ක් දැවී ලකුණු 110 ක් රැස් කළා. වැඩිම ලකුණු ලාභිනිය වූ සුසී බේට්ස් ලකුණු 28 ක් රැස් කළ අතර බෲක් හෙලිඩේ ලකුණු 22 යි. පන්දු යැවීමේදී නෂ්රා සන්දු ක‌ඩුලු 3 ක් දවා ගත්තා. තරගය ජය ගැනීම සදහා ලකුණු 111 ක ඉලක්කයක් සමග පකිස්ථාන ඉනිම ආරම්භ කළේ මුනීබා අලී සහ අලියා රිහාස්. ඔවුන් දෙදෙනාටම සාර්තක වීමට නවසීලන්ත පන්දු යවන්නන් අවස්ථාව ලබා දුන්නේ නැහැ. පකිස්තාන කණ්ඩායමේ මුල් කඩුලු 5 දැවී ගියේ ලකුණු 28 කට. ඔවුන්ගේ ඉනිම පන්දු වාර 11 යි පන්දු 4 කදී ලකුණු 56 කට සීමා කරන්නට නවසීළන්ත පන්දු යවන්නන් සමත් වුණා. ඒ අනුව නවසීළන්ත කණ්ඩායම තරගය ජය ගත්තේ ලකුණු 54 කින්. පන්දු යැවීමේදී අමේලියා කේර් කඩුලු 3 ක් දවා ගත්තා.

ඔක්තෝබර් 14, 2024 - Sudarsha Warnakulasooriya

ලෝක කුසලාන කාන්තා T20 ක්‍රිකට් තරගාවලියේ ඊයේ පැවැති තරග වලින් ජය වාර්තා කිරීමට එංගලන්තය සහ ඔස්ට්‍රේලියාව සමත්වෙයි.

ලෝක කුසලාන කාන්තා 20-20 ක්‍රිකට් තරගාවලියේ ඊයේ පැවැති තරග වලින් ජය වාර්තා කිරීමට එංගලන්තය සහ ඔස්ට්‍රේලියාව සමත් වුණා. ඒ පිළිවෙලින් ස්කොට්ලන්තය සහ ඉන්දියාව පරාජය කරමින්.එංගලන්තය සහ ස්කොට්ලන්තය අතර තරගය පැවැත්වුණේ සාජාහිදී. පළමුවෙන් පන්දුවට පහරදුන් ස්කොට්ලන්තය පන්දු වාර 20 ඇතුලය කඩුලු 6 කට ලකුණු 109 ක් රැස් කළා. පිලිතුරු ලෙස එංගලන්ත කණ්ඩායම තරගය ජය ගත්තේ පන්දු වාර 10 කදී කිසිවෙකු නොදැවී ලකුණු 113 ක් රැස් කරමින්. මයියා බව්චර් නොදැවී ලකුණු 62 ක් සහ ඩැනී හොජ් නොදැවී ලකුණු 51 ක් රැස් කළා. මේ අතර ඉන්දියාව සහ ඔස්ට්‍රේලියාව අතර තරගය පැවැත්වුණේද සාජා හිදී. පළමුවෙන් පන්දුවට පහර දුන් ඔස්ට්‍රේලියාව පන්දු වාර 20 ඇතුලත කඩුලු 8 ක් දැවී ලකුණු 151 ක් රැස් කළා. ග්‍රේස් හැරිස් ලකුණු 40 යි. පන්දු යැවීමේදී රේනුකා සිං සහ දීප්ති ශර්මා කඩුලු 2 බැගින් දවා ගත්තා. පිලිතුරු ලෙස ඉන්දියාව පන්දු වාර 20 ඇතුලත කඩුලු 9ක් දැවී රැස් කලේ ලකුණු 142 ක් පමණයි. නායිකා හර්මන්ප්‍රීත් කෝර් නොදැවී ලකුණු 54 යි. ඔස්ට්‍රේලියාව තරගය ජය ගත්තේ ලකුණු 9කින්. ඒ අනුව ඔස්ට්‍රේලියාව තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබුවේ අපරාජිත කණ්ඩායම ලෙසයි.

ඔක්තෝබර් 14, 2024 - Sudarsha Warnakulasooriya

ලෝක කුසලාන කාන්තා 20-20 ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සමග තරගය කඩුලු 8 කින් ජය ගැනීමට නවසීලන්තය සමත්වෙයි..!!

ලෝක කුසලාන කාන්තා 20-20 ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සමග අද පැවැති තරගය කඩුලු 8 කින් ජය ගැනීමට නවසීලන්තය සමත් වුණා. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම අඛන්ඩව ලැබූ සිව්වැනි පරාජය මෙයයි. තරගය පැවැත්වුණේ සාජා ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී. තරගයේ කාසියේ වාසිය හිමි කර ගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවර පහර දීමට තීරණය කළා. ඒ අනුම ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළේ චමරි අතපත්තු සහ විශ්මි ගුණරත්න. ඔවුන් දෙදෙනා ආරම්භක කඩුල්ල වෙනුවෙන් ගොඩ නැගූ සබධතාව ලකුණු 26 ක්. පළමු කඩුල්ල ලෙස විශ්මි ගුණරත්න ලකුණු 8 කට දැවී ගියා. දෙවැනි කඩුල්ල ලෙස චමරි අතපත්තු සහ හර්ශිතා සමරවික්‍රම ගොඩනැගූ සබධතාව ලකුණු 48 ක්. චමරි දෙවැනි කඩුල්ල ලෙස ලකුණු 35 කට දැවී ගියා. පන්දු 41 කදී ගොඩ නැගුණු චමරිගේ ඉනිමට 4 පහර 5 ක් ඇතුලත්. හර්ෂිතා සමරවික්‍රම ලකුණු 18 යි. අනුශ්කා සංජීවනී ලකුණු 5 කටත්, කවීෂා දිල්හාරි ලකුණු 10 කටත් දැවී ගියා. ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු වාර 20 ඇතුලත කඩුලු 5 ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 115 ක්. නිලක්ෂි සිල්වා නොදැවී ලකුණු 14 ක් සහ අමා කාන්චනා නොදැවී ලකුණු 10 ක් රැස් කළා. පන්දු යැවීමේදී අමේලියා කේර් සහ ලෙයිග් කැස්පරෙක් කඩුලු 2 බැගින් දවා ගත්තා. තරගය ජය ගැනීම සදහා ලකුණු 116 ක ඉලක්කයක් සමග නවසීළන්ත ඉනිම ආරම්භ කළේ සුසී බේට්ස් සහ ජෝරජියා ප්ලිමර්. ඔවුන් දෙදෙනා ආරම්භක කඩුල්ලට ලකුණු 49 ක සබධතාවක් ගොඩනැගුවා. සුසී බේට්ස් ලකුණු 17 යි. දෙවැනි කඩුල්ල ලෙස දැවී ගියේ ලකුණු 53 ක් රැස් කළ ජෝරජ් ප්ලිමර්. නවසීලන්තය තරගය ජය ගත්තේ පන්දු වාර 17 යි පන්දු 3 කදී කඩුලු 2 ක් දැවී ලකුණු 118 ක් රැස් කරමින්.

ඔක්තෝබර් 12, 2024 - Sudarsha Warnakulasooriya

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම 2024 ලෝක කුසලාන 20-20 කාන්තා ක්‍රිකට් තරගාවලියේ මූලික වටයෙන්ම ඉවතට

2024 ලෝක කුසලාන 20-20 කාන්තා ක්‍රිකට් තරගාවලියේ මූලික වටයෙන්ම ඉවත් වීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදු වුණා. ඒ ඉන්දීය කණ්ඩායම සමග පැවැති තරගය පරාජය වීම හේතුවෙන්. ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලියේ සහභාගී වූ තරග 3 ම පරාජයට පත් වුණා. ඩුබායි හිදී පැවැති තරගයේ කාසියේ වාසිය හිමි කර ගත් ඉන්දීය කණ්ඩායම පළමුවෙන් පන්දුවර පහර දීමට තීරණය කළා. ඉන්දීය ඉනිම ආරම්භ කළේ ස්ම්‍රිති මන්දනා සහ ශෆාලි වර්මා. ඔවුන් දෙදෙන‌ා කණ්ඩායම වෙනුවෙන් සාර්තක ආරම්භයක් ලබා ගැනීමට සමත් වුණා. පළමු කඩුල්ල සදහා ගොඩ නැගූ සබධතාව ලකුණු 98 ක්. පළමු කඩුල්ල ලෙස ස්ම්‍රිතී මන්දනා ලකුණු 50 කට දැවී ගියා. ශෆාලි වර්මා ලකුණු 43 ක් රැස් කළා. ඉන්දියාව පන්දු වාර 20 ඇතුලත කඩුලු 3 ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 172 . මෙවර ලෝක කුසලාන තරගාවලියේ කණ්ඩායමක් රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාව එයයි. නායිකා හර්මන්ප්‍රීත් කෝර් නොචැවී ලකුණු 52 ක් රැස් කළා. පන්දු 24 කදී ගොඩ නැගුණු ඇයගේ ඉනිමට 4 පහර 8 ක් සහ 6 පහරක් ඇතුලත්. තරගය ජය ගැනීම සදහා ලකුණු 173 ක ඉලක්කයක් සමග ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කලේ චමරි අතපත්තු සහ විශ්මි ගුණරත්න. ශ්‍රී ලංකා ලකුණු පුවරුවට එක් ලකුණක් හෝ එක් වීඹට පෙර විශ්මි ගුණරත්න දැවී ගියා. කණ්ඩායමේ මුල් කඩුලු 3 දැවී ගියේ ලකුණු 6 කට. මෙවර තරගාවලිය පුරාම ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල පෙළ පිතිකාරිනියන් අසාර්ථක වීම විශේෂත්වයක්. ශ්‍රී ලංකාව පන්දු වාර 19 යි පන්දු 1 කදී සියලු ක්‍රීඩිකාවන් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 88 ක්. කවීෂා දිල්හාරි ලකුණු 21 ක් රැස් කළ අතර අනුශ්කා සංජීවනී ලකුණු 20 යි. පන්දු යැවීමේදී අරුන්දතී රෙඩී සහ ආශා සෝබනා කඩුලු 3 බැගින් දනා ගත්තා. තරගයෙන් ඉන්දීය කණ්ඩායම ජය ගත්තේ ලකුණු 82 කින්.

ඔක්තෝබර් 9, 2024 - Sudarsha Warnakulasooriya

ලෝක කුසලාන කාන්තා T20 ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ තරග 06 ක් අවසන්..!!

ලෝක කුසලාන කාන්තා 20 -20 ක්‍රිකට් තරගාවලියේ තරග පැවැත්වෙන සිව්වැනි දිනයයි අද.  ඊයේ දිනය දක්වා පළමු වටයේ තරග 6 ක් පවත්වා පැවැත්වුණා. පළමු දිනයේදී පැවැති තරග වලින් බංග්ලාදේශය සහ පකිස්තානය ජය වාර්තා කළා. දෙවැනි දිනයේ පැවැති තරග වලින් ජය වාර්තා කිරීම‌ෙ සමත් වුණේ දකුණු අප්‍රිකාව සහ නවසීළන්තයයි. ඊයේ පැවැති තරගවලින් ඔස්ට්‍රේලියාව සහ එංගලන්තය ජය වාර්තා කළා. මේ දක්වා ශ්‍රී ලංකා කණ්ඩායම තරග 2 ක් ක්‍රීඩා කර තිබෙනවා. එම තරග දෙකම පරාජය වීමට ඔවුන්ට සිදු වුණා. ශ්‍රී ලංකාවට මූලික වටය යටතේ තවත් තරග 2 කට ක්‍රීඩා කිරීඹට සිදු වනවා. ඒ ඉන්දියාව සහ නවසීලන්තය සමග. ඉන්දියාව සමග තරගය ලබන 9 වැනිදා ඩුබායි අන්තර් ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි. ඊට සූදානම් වන ක්‍රීඩිකාවන් හෙට පුහුණුවීම් සිදු කීරීමටත් නියමිතව තිබෙනවා. මේ වන විට ශ්‍රී ලංකාවට අවසන් පූර්ව වටය‌ට පිවිසීම අවිනිශ්චිත තත්වටකට පත්ව තිබෙන්නේ මුහුණ දුන් තරග 2 ම පරාජය වීම හේතුවෙන්. කෙසේ වෙතත් ඉදිරියේදී සහභාගී වන තරග 2 ම ජය ගැනීමට උත්සාහ කරන බවයි ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු ප්‍රකාශ කරන්නේ. විශේශයෙන්ම තරගාවලිය පැවැත්වෙන එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මේ දිනවල පවතින අධික උශ්නත්වය තරගාවලියට සහභාගී වන ක්‍රීඩීකාවන්ට දැඩි බලපෑමක් සිදු කරන බවද සදහන් කළ යුතුයි.

ඔක්තෝබර් 6, 2024 - Sudarsha Warnakulasooriya