Cricket

ලෝක කුසලාන 20-20 ක්‍රිකට් තරගාවලිය සදහා සහභාගි වන ශ්‍රී ලංකා සංචිතය ප්‍රකාශයට පත්කරයි..!!

ලෝක කුසලාන 20-20 ක්‍රිකට් තරගාවලිය සදහා සහභාගි වන ශ්‍රී ලංකා සංචිතය අද ප්‍රකාශයට පත් කලා. වනිදු හසරංග නායකත්වය දරන ශ්‍රී ලංකා සංචිතයට ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුළත්. ජුනි මස 01 වැනිදා සිට 29 දක්වා තරගාවලිය අමෙරිකාවේදී සහ බටහිර ඉන්දීය කොදෙව් හිදී පැවැත්වෙනවා. නම් කළ කණ්ඩායමේ උප නායකයා චරිත් අසලංක. කුසල් මෙන්ඩිස්, පැතුම් නිස්සංක, කමිදු මෙන්ඩිස්, සධීර සමරවික්‍රම, ඇන්ජෙලෝ මැතිව්ස්, දසුන්ක ශානක, ධනංජය ද සිල්වා, මහීශ් තීක්ශණ, දුනිත් වෙල්ලාලගේ, දුශ්මන්ත චමීර, නුවන් තුෂාර, මතීෂ පතිරණ සහ ඩිල්ශාන් මදුශංක කණ්ඩායමට ඇතුළත්. කණ්ඩායම සමග සංචාරය කරන අතිරේක ක්‍රීඩකයින් වන්නේ අසිත ප්‍රනාන්දු, විජේකාන්ත් වියස්කාන්ත්, භානුක රාජපක්ෂ සහ ජනිත් ලියනගේ.

මැයි 9, 2024 - Sudarsha Warnakulasooriya

IPL ක්‍රිකට් තරගාවලියේ 57 වැනි තරගයෙන් කඩුලු 10 ක ජයක් හිමිකර ගැනීමට සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සමත්වෙයි..!!

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 57 වැනි තරගයෙන් කඩුලු 10 ක ජයක් හිමිකර ගැනීමට සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සමත් වුණා. ඔවුන් තරග වැදුණේ, ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම සමගයි. තරගය පැවැත්වුණේ, ඉන්දියාවේ හයිද්‍රාබාද්හිදී. පළමුවෙන් පන්දුවට පහරදුන් ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම, පන්දුවාර 20 ඇතුළත කඩුලු 4 ක් දැවී ලකුණු 165 ක් රැස් කළා. අයුෂ් බඩෝනි නොදැවි ලකුණු 55 යි. නිකොලස් පූරන් නොදැවි ලකුණු 48 ක් ලබා ගත්තා. පන්දු යැවීමේ දී බුවනේෂ් කුමාර් ලකුණු 12 කට කඩුලු 2 ක් බිඳ හෙලුවා. අනතුරුව, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම පන්දුවාර 9 යි පන්දු 4 ක් අවසානයේ කිසිවෙකු නොදැවි ලකුණු 167 ක් රැස් කරමින් තරගයේ ජය හිමිකර ගත්තා. ට්‍රැවිස් හේඩ් නොදැවි ලකුණු 89 ක් ලබා ගත් අතර, අභිෂේක් ශර්මා නොදැවි ලකුණු 75 යි. මෙවර තරගාවලියේ ඕනෑම කඩුල්ලක් සදහා වාර්තා වූ ඉහළම ලකුණු සම්බන්ධතාවයද මෙයයි. මෙවර තරගාවලියේදී ඔවුන් බැංගලෝරයට එරෙහිව ලකුණු 287ක් ලබා ගනිමින් IPL තරගාවලියක සහ මෙවර තරගාවලියේ ඔවුන් රැස් කළ ඉහළම ලකුණු සංඛ්‍යාවටද හිමි කම් කියනවා. සන්රයිසස් කණ්ඩායමේ දඟ පන්දු යැවීමේ පුහුණුකරු වන්නේ ශ්‍රී ලංකාවෙන් බිහිවූ විශිෂ්ට ක්‍රීඩක මුත්තයියා මුරලිදරන්. මේ වන විට ලකුණු සටහන අනුව ඔවුන් තෙවන ස්ථානයේ රැඳී සිටිනවා.

මැයි 9, 2024 - Sudarsha Warnakulasooriya

T20 කාන්තා ලෝක කුසලාන සුදුසුකම් ලබාගැනීමේ තරගාවලිය අපරාජිතව නිමාකරමින් සමස්ත ශූරතාවය ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට..!!

විස්සයි 20 කාන්තා ක්‍රිකට් ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ සහභාගී වූ තරග 6ම ජය ගනිමින් සමස්ත ශූරතාවය දිනා ගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් වුනා. ඒ අබුඩාබි හිදී ඊයේ පැවති අවසන් මහා තරගයේදී ස්කොට්ලන්තය පරාජය කරමින්. කාසියේ වාසිය පරාජයට පත්වී අබුඩාබි සයෙඩ් පිටියේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 169ක් ලබා ගත්තා. ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු පන්දු 63 කදී ලකුණු 102ක් ලබා ගත්තේ හයේ පහර 4ක් සහ හතරේ පහර 13ක් සමගින්. මෙය අතපත්තු වාරතා කළ දෙවන T20 ශතකයයි. අවසන් පන්දු වාරය තෙක් කඩුල්ලේ රැඳී සිටිමින් ශ්‍රී ලංකා කන්ඩායමේ නැංගුරම වූ චමරිට අනගි සහයක් ලබා දෙන්නට ශ්‍රී ලංකා මුල් පෙළ සහ මැද පෙළට හැකි වුනා. රචෙල් ස්ලැටර් කඩුලු 2ක් දවා ගත්තා. ලකුණු 170 ක ඉලක්කය හඹා යාමට පිටියට පිවිසි ස්කොට්ලන්තය අසරණ කළ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ පන්දු වාර 20 අවසානයේ ඔවුන්ගේ ඉනිම ලකුණු 101/7 කට සීමා කළා. උදේශිකා ප්‍රබෝධනී කඩුලු 3ක්දවා ගත්තා. ඒ අනුව ලකුණු 68 ක ජයක් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සතු වුනා. තරගයේ ක්‍රීඩිකාව චමරි අතපත්තු.

මැයි 8, 2024 - Sudarsha Warnakulasooriya

T20 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලිය සඳහා සුදුසුකම් ලැබීමේ තරගාවලියේ අවසන් මහා තරගය අද..!!

20-20 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලිය සඳහා සුදුසුකම් ලැබීමේ තරගාවලියේ අවසන් මහා තරගය අද පැවැත්වෙනවා. ඒ, ශ්‍රී ලංකාව සහ ස්කොට්ලන්තය අතර. මේ වන විටත් මෙම කණ්ඩායම් දෙකම ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා අවසන්. අවසන් මහා තරගය අබුඩාබි හිදී පැවැත්වීමට නියමිතයි. ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 9.00 ට තරගය ආරම්භ වනවා. සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ මූලික වටයේදී, “ඒ” කාණ්ඩයෙන් තරග කළ ශ්‍රී ලංකාව, සියලු තරග ජය ගෙන අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබුවා. ශ්‍රී ලංකාව, අවසන් පූර්ව තරගයේදී එක්සත් අරාබි එමීර් රාජ්‍යය පරාජය කරමින් අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීමට සමත් වුණා. අවසන් තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රතිවාදීන් වන ස්කොට්ලන්තය, අවසන් පූර්ව තරගය ජය ගත්තේ, අයර්ලන්තය පරාජය කරමින්. මෙතෙක් ඉතිහාසයේ ශ්‍රී ලංකාව සහ ස්කොට්ලන්තය අතර 20-20 තරග දෙකක් පවත්වා තිබෙනවා. ශ්‍රී ලංකාව එම තරග දෙකම ජය ගැනීමට සමත් වුණා. සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ ශූරතාව ලබා ගන්නා කණ්ඩායමට හිමිවන කුසලානය එළිදැක් වුණේ, චමරි අතපත්තු සහ ස්කොට්ලන්ත කණ්ඩායමේ නායිකා ලව්රා ඩෙලනි ගේ සහභාගීත්වයෙන්.

මැයි 7, 2024 - Sudarsha Warnakulasooriya

කාන්තා 20/20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සුදුසුකම් ලබයි..!!

කාන්තා 20/20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සමත් වුණා. ඒ සුදුසුකම් ලැබීමේ තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගය ජය ගනිමින්. කාන්තා 20-20 ලෝක කුසලානයට සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගය පැවැත්වුණේ ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර. ඉන් ජයගත් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් මෙම තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට සමත් වුණා අබුඩාබිහිදී පැවැති අවසන් පූර්ව තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් පන්දු වාර 20 ඇතුළත කඩුලු 6 ක් දැවී ලකුණු 149ක් රැස් කලා. පිලිතුරු ලෙස එක්සත් අරාබි එමීර් රාජ්‍යය ක්‍රීඩිකාවන් පන්දුවාර 20 ඇතුළත කඩුලු 7 ක් දැවී රැස් කලේ ලකුණු 134 ක් පමණයි. ඒ අනුව අවසන් පූර්ව තරගය ලකුණු 15 කින් ජය ගත් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සුදුසුකම් ලැබීමේ තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලැබුවා. අවසන් මහා තරගයේදී ශ්‍රී ලංකාව ස්කොට්ලන්තය සමග තරග වැදීමට නියමිතයි. එම තරගය හෙට පැවැත්වෙනවා. ශ්‍රී ලංකාව සහ ස්කොට්ලන්තය යන කණ්ඩායම් දෙකම මේ වසරේ බංග්ලාදේශයේදී පැවැත්වීමට නියමිත කාන්තා 20-20 ලෝක කුසලානයට සුදුසුකම් ලබාගත්තා.

මැයි 6, 2024 - Sudarsha Warnakulasooriya

කාන්තා T20 ලෝක කුසලානයට සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියේ තෙවන ජයත් සමග ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට..!!

2024 කාන්තා 20-20 ලෝක කුසලානයට සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියේ තමන් සහභාගී වූ තුන්වන තරගයත් ජයගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් අද සමත් වුණා. උගන්ඩාවට එරෙහිව අද ලැබූ ජයත් සමග ශ්‍රී ලංකාව තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබුවා. මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව පන්දුවාර 20 ඇතුළත කඩුලු 4 ක් දැවී ලකුණු 154 ක් රැස් කලා. විශ්මි ගුණරත්න නොදැවී ලකුණු 73 යි. පිලිතුරු ලෙස උගන්ඩා කණ්ඩායම පන්දු වාර 19යි පන්දු 2 කදී සියලු ක්‍රීඩිකාවන් දැවී රැස් කලේ ලකුණු 87ක් පමණයි. ශ්‍රී ලංකාව තරගය ජය ගත්තේ ලකුණු 67කින්. සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියෙන් කණ්ඩායම් දෙකක් ලෝක කුසලානයට සුදුසුකම් ලබනවා.

මැයි 1, 2024 - Sudarsha Warnakulasooriya

ශ්‍රී ලංකා A කණ්ඩායම සහ ඇෆ්ගනිස්තාන A කණ්ඩායම අතර දෙවන නිල නොලත් එක්දින තරගය කඩුලු 8කින් ජයග්‍රහණය කරන්නට සත්කාරක ශ්‍රී ලංකා කන්ඩායම සමත්වුනා.

ශ්‍රී ලංකා A කණ්ඩායම සහ ඇෆ්ගනිස්තාන A කණ්ඩායම අතර හම්බන්තොට සූරිය වැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී අද පැවැත්වුනු දෙවන නිල නොලත් එක් දින තරගය කඩුලු 8කින් ජයග්‍රහණය කරන්නට සත්කාරක ශ්‍රී ලංකා කන්ඩායම සමත් වුනා. අයහපත් කාලගුණය නිසා තරගය පන්දුවාර 30 කට සීමා වුනා. ප්‍රථම ඉනිම ක්‍රීඩා කළ ඇෆ්ගනිස්තානය පන්දු වාර 27.2 කදී සියල්ලන් දැවී ලකුණු 121යි. ක්වයිස් අහමඩ් ලකුණු 46ක් ලබා ගත්තා. මොහොමඩ් ෂිරාස්, චාමික ගුණසේකර, සහන් ආරච්චිගේ කඩුලු 2 බැගින් දවා ගත්තා. ඩක්වත් ලුවිස් න්‍යාය අනුව ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකාවට පන්දු වාර 30 කදී ලකුණු 101ක ඉලක්කයක් හිමි වුනා. පන්දු වාර 15.2 කදී ලකුණූ 104ක් ලබා ගනිමින් ඔවුන් තරගය ජය ගත්තේ කඩුලු 8කින්. කමිල් මිෂාර නොදැවී ලකුණු 45යි.

මැයි 1, 2024 - Sudarsha Warnakulasooriya

ලෝක කුසලාන 20/20 සුදුසුකම් ලැබීමේ තරගාවලියේ දෙවැනි ජයග්‍රහණය ද වාර්තා කිරීමට ශ්‍රී ලංකා ක්‍රිඩිකාවන් සමත්වෙයි..!!

ලෝක කුසලාන 20/20 සුදුසුකම් ලැබීමේ තරගාවලියේ දෙවැනි ජයග්‍රහණය ද වාර්තා කිරීමට ශ්‍රී ලංකා ක්‍රිඩිකාවන් සමත් වුණා. ඒ ස්කොට්ලන්තය කඩුලු දහයකින් පරාජය කරමින්.. අබුඩාබි හිදී පැවති තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ස්කොට්ලන්තය පන්දු වාර 18 යි පන්දු එකකදී සියලු ක්‍රිඩිකාවන් දැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 94 ක්. කවීශා දිල්හාරි කඩුලු 4 ක් සහ ඉනෝශි ප්‍රියදර්ශනී කඩුලු 3 ක් දවා ගත්තා. ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් තරඟය පහසුවෙන් ජය ගත්තේ පන්දුවාර10 යි පන්දුවකදී කිසිවෙකු නොදැවී ලකුණු 95 ක් රැස් කරමින්. චමරි අතපත්තු නොදැවී ලකුණු 59 සහ විශ්මි ගුණරත්න නොදැවී ලකුණු විසි හතරක් රැස්කළා.

අප්‍රේල් 28, 2024 - Sudarsha Warnakulasooriya

ලෝක කුසලාන කාන්තා T20 ක්‍රිකට් තරගාවලියට සුදුස්සන් තේරීමේ තරගාවලියේ පළමු තරගයේ ජය වාර්තා කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සමත්වෙයි..!!

ලෝක කුසලාන කාන්තා 20/20 ක්‍රිකට් තරගාවලියට සුදුස්සන් තේරීමේ තරගාවලියේ තමන් මුහුණ දුන් පළමු තරගයේ ජය වාර්තා කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් අද සමත් වුණා. ඒ තායිලන්තය පරාජය කරමින්. තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් පන්දු වාර 20 ඇතුළත කඩුලු 5 ක් දැවී ලකුණු 122 ක් රැස් කලා. හසිනි පෙරේරා සහ නිලක්ශිකා සිල්වා ලකුණු 29 බැගින් ලබා ගත්තා. පිලිතුරු ලෙස තායිලන්ත ක්‍රීඩිකාවන්ට පන්දුවාර 16යි පන්දු 2 කදී සියලු ක්‍රීඩිකාවන් දැවී රැස් කිරීමට හැකි වුණේ ලකුණු 50 ක් පමණයි. තරගයෙන් ශ්‍රී ලංකාව ජය ගත්තේ ලකුණු 67කින්. පන්දු යැවීමේදී ඉනෝෂි ප්‍රියදර්ශනී කඩුලු 3 ක් සහ උදේශිකා ප්‍රබෝධිනී කඩුලු 2 ක් දවා ගත්තා.

අප්‍රේල් 25, 2024 - Sudarsha Warnakulasooriya