MAS Holdings හි අනුබද්ධිත ආයතනයක් වන Bodyline පුද්. සමාගම, ශ්‍රී ලංකාවේ මලල ක්‍රීඩා සංගමය (SLA) සමඟ වන අඛණ්ඩ හවුල්කාරීත්වයේ තවත් පියවරක් ලෙස ජාතික මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ 2025 වසර සඳහා ක්‍රීඩා ඇඟලුම් කට්ටලය නිල වශයෙන් භාර දුන්නේය. මෙම ක්‍රීඩා ඇඟලුම් කට්ටලය නිල වශයෙන් භාර දීමේ උත්සවය 2025 අප්‍රේල් 7 වන දින පැවැත්වුණු අතර 2028 වසරේ ලොස් ඇන්ජලීස් හි පැවැත්වෙන ඔලිම්පික් තරගාවලිය දක්වා මෙරට මලල ක්‍රීඩාවේ නිල ඇඟලුම් සහායක ලෙස Bodyline, ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය සමග එක්ව කටයුතු කරනු ඇත.
මෙහිදී Bodyline හි ප්‍රධාන විධායක නිලධාරී සහන් රාජපක්ෂ මහතා විසින් අලුතින් නිර්මාණය කරන ලද මෙම ක්‍රීඩා ඇඟලුම් කට්ටල ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු මහතා වෙත පිරිනමන ලද අතර ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය ගරු සුගත් තිලකරත්න මහතා ද එම අවස්ථාවට එක්විය. MAS විසින් උසස් තාක්ෂණය භාවිත කරමින් ඉහළ කාර්‍යසාධනයක් සහිතව නිර්මාණය කර තිබෙන මෙම ඇඟලුම් කට්ටල ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජාත්‍යයන්තර තරගවලදී ක්‍රීඩා කරන විට ඔවුන්ට සහාය වීම සඳහා නිර්මාණය වී තිබීම විශේෂත්වයකි.
ශ්‍රී ලාංකේය උරුමයක් වන උඩරට නර්තන සම්ප්‍රදායේ චම්ත්කාරය සමග මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ජවය එක්තැන් කළ සුවිශේෂී නිර්මානයක් ලෙස මෙම ඇඟලුම් කට්ටලය සඳහන් කළ හැකිය. එම නර්තනය තුළ දැකිය හැකි ප්‍රබල චලනයන් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ජවය එකට එක් වීම තුළින් නිරූපණය කරනු ලබන්නේ ශ්‍රී ලාංකිකයන්ගේ ශක්තිය හා අභිමානය යි.
මේ වසරේදී ජාතික මලල ක්‍රීඩා කණ්ඩායම අලුතින් නිර්මාණය කරන ලද මෙම ඇඟලුම් කට්ටල පැළඳ ජාත්‍යයන්තර තරගාවලි රැසකට ක්‍රීඩා කිරීමට නියමිතය. ඒ අතර 6 වන කණිෂ්ඨ (18න් පහළ) ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලිය, දකුණු ආසියානු ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලිය, ලෝක සහය දිවීමේ ශූරතාවලිය, ආසියානු විසිකිරීමේ ශූරතාවලිය, ආසියානු යොවුන් ක්‍රීඩා උළෙල සහ ලෝක මලල ක්‍රීඩා ශූරතාවලිය වේ.