සංචාරක ඕස්ට්‍රේලියාව හා පාකිස්තානය අතර තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය තරග 3-0ක් ලෙස ජයගැනීමට පාකිස්තානය ඊයේ සමත් වුණා. ඒ ඊයේ පැවති තුන්වන තරගය ලකුණු 111කින් ජයගැනීමෙන්.
මුලින් පන්දුවට පහරදුන් පාකිස්තානය සිය පන්දුවාර 20ට කඩුලු 7ට ලකුණු 207ක් ලබාගැනීමට සමත් වුණ අතර ඊට පිලිතුරු වශයෙන් ඕස්ට්‍රේලියාව ලබාගත්තේ සියලු දෙනා දැවී ලකුණු 96ක් පමණයි.
පාකිස්තානය වෙනුවෙන් සයීම් අයූබ් පන්දු 37ට ලකුණු 56ක්, බාබර් අසාම් නොදැවී පන්දු 36ට ලකුණු 50ක් හා ශදාබ් කාන් පන්දු 19ට ලකුණු 46ක් ලබාගත්තා.
ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන් දැඩි ප්‍රහාරයකට ලක්වෙද්දී යම් කිසි සාර්ථකත්වයක් ලැබුවේ ලකුණු 27ට එක් කඩුල්ලක් දවාගත් මැතිව් කුනමන් හා පන්දු 39ට කඩුලු දෙකක් දවාගත් බෙන් ද්වාෂිස් පමණයි.
පිලිතුරු ඉනිම ක්‍රීඩා කළ ඕස්ට්‍රේලියානු කණ්ඩායමට කිසිදු අයුරකින් සාර්ථක වීමට පාකිස්තානු පන්දු යැවීමේ බලඇණිය ඉඩ ලබා දුන්නේ නැහැ. එක පිට එක කඩුලු බිඳ වැටුනු ඕස්ට්‍රේලියානු ඉනිමේ සියලු කඩුලු 17වන පන්දුවාරය වන විට දැවී ගිය අතර ඔවුන් ලබාගත්තේ ලකුණු 96ක් පමණයි.
ඕස්ට්‍රේලියාව වෙනුවෙන් ලකුණු 20 සීමාව පසු කළේ කැමරන් ග්‍රීන් (22) හා මාකස් ස්ටොයිනිස් (23) පමණයි.
පන්දු යැවීමේදී මොහොමඩ් නවාස් ලකුණු 18ට කඩුලු 5 ක් දවාගත් අතර ශහීන් ෂා අෆ්‍රීඩි ලකුණු 16ට කඩුලු 2ක් දවාගත්තා. ඊට අමතරව අබ්‍රාර් අහමඩ් හා නසීම් ෂා එක් කඩුල්ල බැගින් දවාගත්තා.
ඒ අනුව 2026 විස්සයි විස්ස ලෝක කුසලානය අභියසදීම ඕස්ට්‍රේලියාවට දැවැන්ත පරාජයක් අත්කර දෙමින් පාකිස්තානය තරගාවලිය 3-0ක් ලෙස ජයගත්තා.
අවසන් තරගයේ තරගයේ වීරයා ලෙස මොහොමඩ් නවාස් නම් කෙරුණු අතර තරගාවලියේ වීරයා වූයේ පාකිස්තානු නායක සල්මන් අලී අගා යි.