ශ්‍රී ලංකාව හා ඉන්දියාව තුළ පැවැත්වීමට නියමිත මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය ආරම්භවීමට ඔන්න මෙන්න කියා තිබියදී තවත් ආන්දෝලනාත්මක ප්‍රවෘතියක් අසන්නට ලැබුණා. ඒ, නිරන්තරයෙන් මහත් ප්‍රේක්ෂක ආකර්ෂණයක් ගන්නා ඉන්දීය පකිස්තාන තරගය සඳහා පාකිස්තානය සහභාගී නොවන බව දැනුම් දීමයි.
එම තරගය පැවැත්වීමට නියමිතව තිබුණේ පෙබරවාරි 15 වන දින කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේදී යි. පාකිස්තාන රජයේ තීරනයක් අනුව එම තරගයට සිය සහභාගිත්වය නොදක්වන බව පාකිස්තාන ක්‍රිකට් ආයතනය පවසා සිටියා. කෙසේ වෙතත්, ඉන්දියාව සමග තරගය ක්‍රීඩා නොකිරීම තුළින්, ලෝක කුසලාන තරගාවලිය මේ වන විටත් අහිමි වී තිබෙන බංග්ලාදේශයට සිය සහය පලකිරීම අපේක්ෂා කරන බව ඔවුන් සඳහන් කොට තිබුණා.
මේ ආන්දෝලනාත්මක තීරණය ශ්‍රී ලංකාවට දැඩි බලපෑම් සහගතයි. ඉන්දියා පාකිස්තානය තරගය යනු ලෝකය පුරා විශාල ප්‍රේක්ෂකයන් පිරිසක් නැරඹීමට කැමති තරගයක්. මේ තරගය ශ්‍රී ලංකාවේ පැවැත්වීම තුළින් අති විශාල විදේශ ක්රීඩාලෝළින් ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට ඒමට නියමිතව තිබුණා. එය ශ්‍රී ලංකා සංචාරක කර්මාන්තයට සෘජු බලපාමක් ඇතිකරනවා. එසේම ආරංචි මාර්ග වලට අනුව, දැනටමත් එදිනට වෙන්කොට තිබූ හෝටල් කාමර විශාල වශයෙන් අවලංගු වෙමින් පවතිනවා.
කෙසේ වෙතත් පාකිස්තානය ඉතා දුශ්කර කාල වල සිටියදීත්, වෙනත් කණඩායම් ආරක්ෂක හේතූන් මත පාකිස්තානය තුළ තරග කිරීම ප්‍රතික්ෂේප කල පසුත් එරටට ගොස් ක්‍රීඩා කළ එකම කන්ඩායම ශ්‍රී ලංකා කණ්ඩායමයි. විශේෂයෙන්ම 2009 දී ශ්‍රී ලංකා කණ්ඩායම ඉලක්ක කර එල්ල කොට ලෝහෝර් නුවර සිදු කල ත්‍රස්ථ ප්‍රහාරයෙන් පසුවත් පාකිස්තානයට මුලින්ම ගොස් තරග කළේ ශ්‍රී ලංකා කණ්ඩායමයි.
එසේම, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පාකිතාන ක්‍රිකට් ආයතනයෙන් මේ තීරණය පිළිබඳව නැවත සලකා බලන ලෙස ඉල්ලමින් ලිපියක් ද යවා ඇති අතර එම ලිපියේ ශ්‍රී ලංකා කණ්ඩායම පාකිස්තානය සමග දුශ්කර කාල වලදී ඔවුන් වෙනුවෙන් පෙනී සිටීමද සඳහන් කොට ඇත.
කුමන අභයන්තර දේශපාලන අර්බුධ තිබුණත් ශ්‍රී ලංකාවට පැමිණ මෙවැනි උණුසුම් තරගයක් ක්‍රීඩා කිරීම ශ්‍රී ලංකාවට මෙන්ම ලෝක ක්‍රිකට් ක්‍රීඩාවටද මහත් ගෞරවයක් බවත්, එවැනි අර්බුධ ක්‍රීඩාවට අදාල නොවන බව ශ්‍රී ලංකා කන්ඩායම පෙන්වා තිය යුතු බවත් පාකිස්තාන ක්‍රිකට් ආයතනයට මතක් කල යුතුය.