ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් ලෝකඩ පදක්කම හිමි කර ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා. ඒ බංග්ලාදේශය ලකුණු 63 කින් පරාජය කරමින්. ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් තරග පැවැත්වුණේ නිෂින් හිදී.
ලෝකඩ පදක්කම සදහා ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැති තරගයේ කාසියේ වාසිය හිමි කර ගත්තේ ශ්‍රී ලංකා කණ්ඩායමයි. ඔවුන් පළමුවෙන් පහර දීමට තීරණය කළා.
ඒ අනුව ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කලේ ලසිත් කෲස්පුල්ලේ සහ සිනෙත් ජයවර්ධන. ඔවුන් දෙදෙනාටම සාර්ථක වීමට අවස්ථාව හිමි වුණේ නැහැ.
ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුලු 4 දැවී ගියේ ලකුණු 21 ක් තුළයි. අශේන් බණ්ඩාර ලකුණු 18 කට දැවී ගියා.
5 වැනි කඩුල්ල සදහා සහන් ආරච්චිගේ සහ තරිදු රත්නායක ගොඩනැගූ සබධතාව ලකුණු 93 ක්. වැඩිම ලකුණු සංඛ්‍යාවක් රැස් කළ තරිදු රත්නායක රැස් කළ ලකුණු සංඛ්‍යාව 65 ක්. පන්දු 32 කදී ගොඩනැගුණු ඔහුගේ ඉනිමට 4 පහර 7 ක් සහ 6 පහර 5 ක් ඇතුළත්.
සහන් ආරච්චිගේ ලකුණු 33 යි.
පන්දු යැවීමේදී මෙහෙදි හසන්, රිෂාඩ් හොසේන් සහ මුස්ටර්ෆිසුර් රහමාන් අතර කඩුලු 2 බැගින් බෙදී ගියා.
ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු වාර 20 ඇතුළත කඩුලු 9 ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 165 ක්.
තරගයේ ජයග්‍රහණය සදහා ලකුණු 166 ක ඉලක්කයක් සමග බංග්ලාදේශ ඉනිම ආරම්භ කළේ සයිෆ් හසාන් සහ ටන්සිඩ් හසන්.
ඔවුන්ගේ මුල් කඩුලු 3 ලකුණු 4 ක් තුල දවා ගන්නට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුණා. තව්හිද් හ්‍රිදෝයි ලකුණු 11 කට දැවී ගියේ තරිදු රත්නායකගේ පන්දුවක් හමුවේයි.
බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 17 යි පන්දු 3 කදී සියලු ක්‍රීඩකයින් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 102 ක්. වැඩිම ලකුණු ලාභියා වූ නසූම් අහමඩ් ලකුණු 26 යි.
පන්දු යැවීමේදී නුවන් තුෂාර, තරිදු රත්නායක, වනුජ සහන් සහ විජයකාන්ත් වියස්කාන්ත් අතර කඩුලු 2 බැගින් බෙදී ගියා.