සිව් වැනි දකුණු ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ අනු ශූරතාව ශ්‍රී ලංකා කණ්ඩායමට..!!

September 15, 2024 - Sudarsha Warnakulasooriya

  • Athletics
  • Popular
  • Recent
  • Sinhala
  • Trending

සිව් වැනි දකුණු ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ අනු ශූරතාව හිමි කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුණා.

ඒ, රන්පදක්කම් 9 ක්, රිදි පදක්කම් 9 ක්, ලෝකඩ පදක්කම් 17 ක් සමග සමස්ත පදක්කම් 35 ක් හිමිකර ගනිමින්.

දින 3ක් පුරා තරගාවලිය පැවැත්වුණේ, ඉන්දියාවේ චෙන්නායිහිදී‍. අවසන් දිනය වූ ඊයේ රන් පදක්කම් 5 ක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුණා.

උස පැනීමේ පිරිමි ඉසව්වෙන් රන් පදක්කම හිමිකර ගත්තේ, ලෙසදු අර්තවිදු. ඒ, මීටර දෙකයි දශම 1 යි 9 ක උසක් වාර්තා කරමින්.

තරූෂ දිනුෂාන් එහි රිදි පදක්කම හිමිකර ගත්තා. තුන් පිම්ම පිරිමි ඉසව්වේ රන් පදක්කම හසිත දිසානායකට හිමි වුණා. ඔහු දැක්වූ දක්ෂතාව, මීටර 15 දශම බිංදුවයි 9 ක්.

එහි රිදි පදක්කම සෙනුර හංසකට හිමි වුණා. මීටර 200 පිරිමි ධාවන ඉසව්වේ රන් පදක්ම හිමි වුණේ, ඉඳුසර විදුෂාන්ට.

ඒ, තත්පර 21 දශම 3 යි 3 කින් තරගය අවසන් කරමින්. එහි ලෝකඩ පදක්කම මලිත් තමෙල් හිමි කර ගත්තා. මීටර 400 X 4 පිරිමි සහය ඉසව්වේ රන් පදක්කම ශ්‍රී ලංකාවට හිමි වුණා.

ඔවුන් තරගය නිම කිරීමට ගත කළ කාලය මිනිත්තු 3 යි තත්පර 9 යි දශම 3 යි 4 ක්. මීටර 100 X 4 පිරිමි සහය ධාවන ඉසව්වේ රන් පදක්කම ද ශ්‍රී ලංකාව හිමි කර ගත්තා. ඔවුන් තරගය නිම කළේ, තත්පර 40 යි දශම 2 යි 8 කින්.