Cricket

ලෝක කුසලාන කාන්තා T20 ක්‍රිකට් තරගාවලියට සුදුස්සන් තේරීමේ තරගාවලියේ පළමු තරගයේ ජය වාර්තා කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සමත්වෙයි..!!

ලෝක කුසලාන කාන්තා 20/20 ක්‍රිකට් තරගාවලියට සුදුස්සන් තේරීමේ තරගාවලියේ තමන් මුහුණ දුන් පළමු තරගයේ ජය වාර්තා කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් අද සමත් වුණා. ඒ තායිලන්තය පරාජය කරමින්. තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් පන්දු වාර 20 ඇතුළත කඩුලු 5 ක් දැවී ලකුණු 122 ක් රැස් කලා. හසිනි පෙරේරා සහ නිලක්ශිකා සිල්වා ලකුණු 29 බැගින් ලබා ගත්තා. පිලිතුරු ලෙස තායිලන්ත ක්‍රීඩිකාවන්ට පන්දුවාර 16යි පන්දු 2 කදී සියලු ක්‍රීඩිකාවන් දැවී රැස් කිරීමට හැකි වුණේ ලකුණු 50 ක් පමණයි. තරගයෙන් ශ්‍රී ලංකාව ජය ගත්තේ ලකුණු 67කින්. පන්දු යැවීමේදී ඉනෝෂි ප්‍රියදර්ශනී කඩුලු 3 ක් සහ උදේශිකා ප්‍රබෝධිනී කඩුලු 2 ක් දවා ගත්තා.

April 25, 2024 - Sudarsha Warnakulasooriya

සුපිරි තරඟයකින් පසු Gujarat Titans පරාජය කරමින් Delhi Capitals කණ්ඩායමට ලකුණු 04 ක තියුණු ජයක්..!!

2024 IPL තරගමාලාවේ 40 වන තරගය ඊයේ දිල්ලි හිදී පැවැත්වුනා. ඒ ගුජරාට් ටයිටන්ස් සහ දිල්ලි කැපිටල්ස් අතරයි. කාසියේ වාසිය දිනූ ගුජරාටය ප්‍රථමයෙන් පන්දු යැවීමට තීරණය කලා. ඒ අනුව දිල්ලි කණ්ඩායම ලකුණු කඩුලු 4 ක් දැවී 224ක් ලබා ගත්තා. නායක රිෂාබ් පන්ට් ලකුණු 88යි. සන්දීප් වොරියර් කඩුලු 3ක් දවා ගත්තා. ලකුණු 225ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ටයිටන්ස් ක්‍රීඩකයන්ට තියුණු සටනකින් පසුව පන්දු වාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 220ක් පමණයි. සායි සුදර්ශන් ලකුණු 65යි. ජයග්‍රහණය සඳහා අවසන් පන්දු 2ට ලකුණු 11ක් අවශ්‍යව තිබූ මොහොතේ පිටියේ රැඳී සිටි රෂීඩ් ඛාන් 19 වන ඕවරයේ 5 වන පන්දුවට හයේ පහරක් කලා. නමුත් අවසන් පන්දුවට රෂීඩ්ට කිසිදු ලකුණක් ලබා ගැනීමට නොහැකි වුනා. රසික් සලාම් කඩුලු 3ක් දවා ගත්තා. ඒ අනුව ලකුණු 4ක තියුණු ජයක් දිල්ලි කණ්ඩායමට හිමි වුනා. තරග 40ක් අවසානයේ ලකුණු සටහනේ පෙරමුණ ගන්නට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට හැකි වී තිබෙනවා. කල්කටා නයිට් රයිඩර්ස්, සන්රයිසස් හයිද්‍රබාද් සහ ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම් පිළිවෙලින් දෙවන තෙවන සහ සිව්වන ස්ථාන හිමි කර ගෙන තිබෙනවා. ‍රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම අවසන් ස්ථානයට පත්ව සිටිනවා.

April 25, 2024 - Sudarsha Warnakulasooriya

2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සන්නාම තානාපතිවරයකු ලෙස ICC ය විසින් මලල ක්‍රීඩක උසේන් බෝල්ට් නම් කරයි..!!

මෙවර T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අමෙරිකා එක්සත් ජනපදය හා බටහිර ඉන්දීය කොදෙවු දූපත් වල දී පැවැත්වෙනවා. 2024 ජුනි 1 සිට 29 දක්වා පැවැත්වෙන තරගාවලියේ සන්නාම තානාපති වරයකු ලෙස ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (අයිසීසී) විසින් මලල ක්‍රීඩක උසේන් බෝල්ට් තෝරාගෙන තිබෙනවා. ලොව පුරා දහස් සංඛ්‍යාත ක්‍රිකට් ලොලීන් දිරිමත් කරන සන්දර්ශන සමය ආරම්භ වීමට තවත් ඇත්තේ නොබෝ දිනක්. ඔලිම්පික් තරගාවලි තුනකදී (2008,2012,2016) මීටර් 100 සහ මීටර් 200 ඉසව් වලින් අඛන්ඩව රන් පදක්කම් දිනූ ලොව එකම තරගකරුවා වන්නේ උසේන් බෝල්ට්. මීටර් 100 ඉසව්වක බෝල්ට් වාර්තා කළ වේගවත්ම කාලය තත්පර 9.58ක්. ඒ 2009 වසරේ බර්ලින් ලෝක ශුරතා තරගාවලියේදීයි. එමෙන්ම එය වත්මන් ලෝක වාර්තාවද වනවා. මීට අමතරව එහි ඔලිම්පික් වාර්තාවද (තත්පර 9.63 ) බෝල්ට් විසින්ම 2012 වසරේ ලන්ඩන් හිදී පිහිටුවනු ලැබුවා. 2016 රියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙල ඉතිහාසගත කළ බෝල්ට් පිට පිට ක්‍රීඩා තුනකදී (100m, 200m, 4x100m)රන් පදක්කම් ත්‍රිත්වයක් ලබා ගනිමින් ලෝකයේම අවධානය වඩ වඩාත් දිනා ගත්තා. එමෙන්ම මෙම තරග තුනේම වත්මන් ලෝක වාර්තාවට හිමි කම් කියන්නේද බෝල්ට් විසිනුයි. "මගේ හදවතේ ක්‍රීඩාවට විශේෂ තැනක් මම දෙනවා, කොදෙව්වන් ක්‍රීඩා කරන තරග නැරඹීමට පැමිණ ඔවුන් දිරිමත් කරමින් ජගත් කෙළි බිමේ ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රචලිත කිරීමට දායක වනවා." යනුවෙන් පසුගිය දිනක මෙම විශිෂ්ට ක්‍රීඩකයා මාධ්‍යට පවසා තිබුණා.

April 25, 2024 - Sudarsha Warnakulasooriya

T20 කාන්තා ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ තම දෙවැනි පුහුණු තරගයද ජය ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සමත්වෙයි..!!

20 යි 20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ තම දෙවැනි පුහුණු තරගයේද ජයග්‍රහණය වාර්තා කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සමත්වුණා. ඒ, වනවාටු කණ්ඩායම සමග පැවති තරගය කඩුලු 9 කින් ජය ගනිමින්. අබුඩාබිහී පැවති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් වනවාටු ක්‍රීඩිකාවන්, පන්දුවාර 17 කදී සියලු දෙනා දැවී රැස් කළේ, ලකුණු 58 ක් පමණයි. ඔවුන්ගේ ක්‍රීඩිකාවන් අතරින් ලකුණු 10 සීමාව පසුකළේ, එක් ක්‍රීඩිකාවක් පමණක් වීම විශේෂත්වයක්. පන්දු යැවීමේ දී සශිනි ගිම්හානි කඩුලු 3 යි. උදේෂිකා ප්‍රබෝධිනි, අචිනි කුලසූරිය සහ ඉනෝකා රණවීර කඩුලු දෙක බැගින් බිද හෙලුවා. ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් තරගය ජයගත්තේ, පන්දුවාර 8 යි පන්දු දෙකකදී කඩුල්ලක් දැවි ලකුණු 59 ක් රැස් කරමින්. හසිනි පෙරේරා නොදැවි ලකුණු 27 යි.

April 24, 2024 - Sudarsha Warnakulasooriya

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමග ඊයේ (22) පැවති තරගය ජය ගැනීමට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සමත්වෙයි..!!

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමග ඊයේ පැවති තරගය ජය ගැනීමට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සමත් වුණා. තරගය පැවැත් වුණේ, ජායිපූර් හිදී. පළමුවෙන් පන්දුවට පහර දුන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම, පන්දුවාර 20 ඇතුළත කඩුලු 9 ක් දැවී ලකුණු 179 ක් රැස් කළා. තිලක් වර්මා, ලකුණු 65 ක් රැස් කළ අතර, නෙහාල් වදේරා ලකුණු 49 යි. පන්දු යැවීමේදී සන්දීප් ශර්මා කඩුලු 5 ක් බිඳ හෙලුවා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම තරගය පහසුවෙන් ජය ගත්තේ, පන්දුවාර 18 යි පන්දු 4 කදී කඩුල්ලක් දැවී ලකුණු 183 ක් රැස් කරමින්. විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ යශස්වි ජයිස්වාල් පන්දු 60 කදී නොදැවී ලකුණු 104 ක් රැස් කළා. ඔහුගේ ඉනිමට 4 පහර 9 ක් සහ 6 පහර 7 ක් ඇතුළත්. තරගාවලියේ තරග 38 ක් අවසන් වන විට ලකුණු සටහනට අනුව, පෙරමුණේ පසුවන්නේ, රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමයි. ඔවුන් තරග 8 ක් ක්‍රීඩා කර ඉන් තරග 7 ක් ‍ජය ගෙන ලකුණු 14 ක් රැස් කර ගෙන සිටිනවා. ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානය කොල්කටාර් නයිට් රයිඩර්ස් කණ්ඩායමටත්, තෙවැනි ස්ථානය සන්රයිසර්ස් හයිද්‍රාබාද් කණ්ඩායමටත් හිමියි.

April 23, 2024 - Sudarsha Warnakulasooriya

චමරි අතපත්තු නැවතත් එක්දින කාන්තා පිතිකාරිණියන් ශ්‍රේණිගත කිරීම්හි අංක 01 ට..!!

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු ලොව එක් දින කාන්තා පිතිකරුවන්ගේ ශ්‍රේණිගත කිරීම අනුව යළි පළමු ස්ථානයට පැමිණ තිබෙනවා. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නවතම ශ්‍රේණිගත කිරීම් අද ප්‍රකාශයට පත් කළා. චමරි අතපත්තු මීට පෙරද මෙම ශ්‍රේණිගත කිරීම් පළමු ස්ථානයේ පසු වුණා. දකුණු අප්‍රිකානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමග පැවති එක් දින තරගාවලියට පෙර ඇය, එහි දෙවැනි ස්ථානය දක්වා පසුබැස තිබුණා. දකුණු අප්‍රිකාව සමග පැවති තුන්වැනි එක් දින ක්‍රිකට් තරගයේදී චමරි අතපත්තු රැස් කළ ලකුණු සංඛ්‍යාව 195 ක්. ඇය, තම එක් දින ක්‍රිකට් දිවියේ ලබාගත් 9 වැනි ශතකයද මෙයයි. එම, දක්ෂතාවත් සමග චමරි නැවතත් ලේඛනයේ පෙරමුණට පැමිණියේ ලකුණු 773 ක් හිමි කර ගනිමින්. ඇය මේ වන විට එක් දින ජාත්‍යන්තර තරග 101 ක් සඳහා ශ්‍රීලංකාව නියෝජනය කර තිබෙනවා. චමරි අතපත්තු මෙතක් ලබා ඇති ලකුණු සංඛ්‍යාව 3513 ක්.

April 23, 2024 - Sudarsha Warnakulasooriya

පකිස්තාන කණ්ඩායම සමග පැවති තුන්වැනි 20-20 තරගය, කඩුලු 7කින් ජය ගැනීමට නවසීලන්තය සමත්වෙයි..!!

පකිස්තාන කණ්ඩායම සමග පැවති තුන්වැනි 20-20 තරගය, කඩුලු 7කින් ජය ගැනීමට නවසීලන්තය සමත් වුණා. තරගය ඊයේ පැවැත්වුණේ, රාවල්පිණ්ඩිහිදී. පළමුවෙන් පන්දුවට පහර දුන් පකිස්තාන කණ්ඩායම, පන්දුවාර 20 ඇතුළත කඩුලු 4 ක් දැවී ලකුණු 178 ක් රැස් කළා. ශඩාබ් ඛාන් ලකුණු 41 යි. පන්දු යැවීමේදී ඉෂ් සෝදි කඩුලු 2 ක් බිඳ හෙලුවා. පිළිතුරු ලෙස නවසීලන්තය, තරගය ජය ගත්තේ, පන්දුවාර 18 යි පන්දු දෙකක් ඇතුළත කඩුලු 3 ක් දැවී ලකුණු 179 ක් රැස් කරමින්. මාර්ක් චෑප්මන් නොදැවී ලකුණු 87 යි. පන්දු 42 කදී ගොඩනැගුණු ඔහුගේ ඉනිමට 4 පහර 9 ක් සහ 6 පහර 4 ක් ඇතුළත්.

April 22, 2024 - Sudarsha Warnakulasooriya

කොළඹ ඩී එස් සේනානායක විද්‍යාලය සමග වාර්ෂික එක්දින ක්‍රිකට් තරගය ලකුණු 133 කින් ජය ගැනීමට කොළඹ මහානාම විද්‍යාලය සමත්වෙයි..!!

කොළඹ ඩී එස් සේනානායක විද්‍යාලය සමග පැවති වාර්ෂික එක්දින ක්‍රිකට් තරගය ලකුණු 133 කින් ජය ගැනීමට කොළඹ මහානාම විද්‍යාලය සමත් වුණා. තරගය ඊයේ පැවැත් වුණේ, කොළඹ එස් එස් සී ක්‍රීඩාංගණයේදී. තරගය මෙවර සංවිධාන කර තිබුණේ, 18 වැනි වරට. පළමුවෙන් පන්දුවට පහර දුන් මහානාම විද්‍යාලය, පන්දුවාර 50 තුළ කඩුලු 9 ක් දැවී ලකුණු 305 ක් රැස් කළා. විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ රශ්මික පෙරේරා ලකුණු 111 යි. කවිදු අමමෙත් ලකුණු 42 ක් රැස් කළා. පන්දු යැවීමේදී ඩිලාෂ් කුමාරනායක කඩුලු 3 යි. පිළිතුරු ලෙස ඩී එස් සේනානායක විද්‍යාලයට සියලු ක්‍රීඩකයින් දැවී රැස් කිරීමට හැකි වුණේ, ලකුණු 172 ක් පමණයි. ශනාල් බිනුෂ්ක, ලකුණු 61 යි. පන්දු යැවීමේදී ඉනුක කරන්නා‍ගොඩ කඩුලු 4 ක් බිඳ හෙලුවා.

April 22, 2024 - Sudarsha Warnakulasooriya

2024 IPL තරගාවලියේ 36 වන තරගය RCB ට එරෙහිව එක් ලකුණකින් ජයග්‍රහණය කිරීමට KKR කණ්ඩායම සමත්වෙයි..!!

2024 IPL තරගාවලියේ 36 වන තරගය එක් ලකුණකින් ජයග්‍රහණය කරන්නට කල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සමත් වුනා. ඔවුන් අද තරග වැදුනේ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සමගයි. කොල්කටාහි ඊඩන් ගාඩ්න් ක්‍රීඩාංගණයේදී පැවැති තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් නයිට් රයිඩර්ස් කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 222යි. ශ්‍රෙයාස් අයියර් ලකුණු 50යි. යෂ් දයාල් සහ කැමරන් ග්‍රීන් කඩුලු 2 බැගින් දවා ගත්තා. ලකුණු 223 ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි බැංගලෝර් ක්‍රීඩකයින්ට පන්දුවාර 20 අවසානයේ ලබා ගත හැකි වූයේ ලකුණු 221 ක් පමණයි. විල් ජැක්ස් ලකුණු 55යි. ජයග්‍රහණය සඳහා අවසන් පන්දු වාරයේදී කඩුලු 2ක් අතැතිව සිටි බැංගලෝර් කණ්ඩායමට ලකුණු 21ක් අවශ්‍යව තිබුණා. මිචෙල් ස්ටාක් ක්‍රියාත්මක කළ අවසන් පන්දු වාරයේ ප්‍රථම පන්දු 4ටම පිට පිට 6 පහරවල් 3ක් එල්ල කළ ඛාන් ශර්මා බැංගලෝරයට ජයග්‍රහණයේ සිහිනය පෙන්වූ නමුත් පස්වන පන්දුවට දැවී ගියා. අවසන් පන්දුවට එක් කඩුල්ලක් අතැතිව ජයග්‍රහණය සඳහා ලකුණු තුනක් අවශ්‍යව තිබූ නමුත් දෙවන ලකුණ සඳහා දිව ගිය ලොකී ෆර්ගසන් දුවද්දී දැවී ගියා. තරගයේ වීරයා පිත්තෙන් ලකුණු 27ක් සහ පන්දුවෙන් කඩුලු 3ක් දවා ගත් ඇන්ඩ්‍රි රසල්.

April 21, 2024 - Sudarsha Warnakulasooriya