ඊයේ දින පැවති රාජස්ථාන් රෝයල්ස් හා මුම්බායි ඉන්ඩියන්ස් අතර තරගයෙන් ලකුණු 27ක ජයක් ලැබීමට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සමත් වුණා.
වර්ෂාව හේතුවෙන් ප්‍රමාද වී ආරම්භ කළ මෙම තරගය පන්දුවාර 11ට සීමා වුණා. පළමුවෙන් පන්දුවට පහර දුන්නේ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමයි.
වෛභව් සූර්යවංශි හා යසස්වී ජෛස්වාල් ඉනිම ආරම්භ කරමින් ඉතා ප්‍රවේගකාරී පිතිහරඹයක නියැළුණේ මුම්බයි ඉන්ඩියන්ස් කණ්ඩායමේ අත්දැකීම් බහුල පන්දු යවන්නන් අන්දමන්ද කරමින්.
පළමු කඩුල්ල ලෙස වෛභව් සූර්යවංශි දැවීයද්දී ඔවුන් පන්දු 30ට ලකුණු 80ක සබඳතාවයක් ගොඩනගා තිබුණා.
සූර්යවංශි පන්දු 14ට ලකුණු 39ක් රැස්කළ අතර එම ඉනිමට හයේ පහර 5ක් සහ එක් හතරේ පහරක් ඇතුළත් වුණා. ජෛස්වාල් පන්දු 32කින් නොදැවී ලකුණු 77ක් ලබාගත් අතර ඔහුගේ ඉනිමට හයේ පහර 4ක් සහ හතරේ පහර 10ක් ඇතුළත් වුණා.
තවමත් 14වැනි වියේ පසුවන වෛභව් සූර්යවංශි ජස්ප්‍රිත් බුම්රාගේ පන්දුවලට පළමු වරට මුහුණ දුන්නේ ඊයේ තරගයේදී වූ අතර පළමු පන්දුවට හයේ පහරක් එල්ල කිරීම සුවිශේෂි වුණා.
පිලිතුරු ඉනිම ක්‍රීඩා කළ මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමේ කිසිදු පිතිකරුවෙකුට ලකුණු 30 සීමාව පසු කිරීමට රෝයල්ස් පන්දු යවන්නන් ඉඩනොදුන් අතර ඔවුන්ට ලබාගත හැකිවුණේ කඩුලු 9ට ලකුණු 123ක් පමණයි.
නාමන් ධීර් හා ෂර්ෆේන් රදෆෝර්ඩ් ලකුණු 25 බැගින් ලබාගත්තා.
පන්දු යැවීමේදී රාජස්ථාන් කණ්ඩායම වෙනුවෙන් නන්ද්රෙ බර්ගර්, රවී බිෂ්නෝයි හා සන්දීප් ශර්මා කඩුලු 2 බැගින් ලබාගත් අතර තුෂාර් දේශ්පාණ්ඩේ හා ජොෆ්රා ආචර් එක් කඩුල්ල බැගින් දවාගත්තා.
මෙතෙක් තරග කළ තරග 3ම රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම ජයග්‍රහණය කළ අතර ප්‍රසාද ලකුණු 6ක් සමගින් ඔවුන් ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානයේ රැදී සිටින අතර 7 වන ස්ථානයේ රැඳී සිටින මුම්බයි ඉන්ඩියන්ස් කණ්ඩායම ජයගෙන ඇත්තේ ක්‍රීඩා කළ තරග 3න් එක් තරගයක් පමණයි.