ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර අද පැවැත්වීමට නියමිතව තිබූ දෙවැනි එක් දින ක්‍රිකට් තරගය හෙට පැවැත්වෙන බව පාකිස්සාන ක්‍රිකට් ආයතනයේ සභාපති මෝෂින් නක් වී ප්‍රකාශ කර තිබෙනවා.
මේ අතර තුන්වැනි එක් දින තරගය ලබන දහසය වන දා පැවැත්වීමට නියමිතයි.
මීට පෙර දෙවැනි සහ තුන්වැනි තරග දෙක පැවැත්වීමට නියමිතව තිබුණේ අද දිනයේ සහ පහළොස්වැනිදායි.
ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර මේ දිනවල පැවැත්වෙන තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලියට මතුව ඇති අර්බුදකාරී වාතාවරණය ගැන ක්‍රිකට් ආයතනයෙන් පැහැදිලි කිරීමක් සිදුකර තිබෙනවා.
දෙරට අතර පළමු එක්දින ක්‍රිකට් තරගය පැවැත්වීමට විනාඩි කිහිපයකට පෙර ඉස්ලාමාබාද්හි සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් සිදුවීම නිසා ආරක්ෂක හේතූන් මත ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් කිහිප දෙනෙකු යළි ශ්‍රී ලංකාවට පැමිණීමට ක්‍රිකට් ආයතනයෙන් ඉල්ලීමක් කර තිබුණා.
ඒ අනුව යම් අර්බුදකාරී තත්ත්වයක් මතු වූඅතර
නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රකාශ කලේ ශ්‍රී ලංකා කණ්ඩායමේ සාමාජිකයින් කිහිප දෙනෙකු ආරක්ෂක ගැටලු මත යළි මෙරටට පැමිණීමට ඉල්ලීමක් කළ බව කණ්ඩායම් කළමනාකාරිත්වය විසින් ඊයේ උදෑසන ක්‍රිකට් ආයතනය වෙත දැන්වූ බවයි.
මෙම තත්ත්වයත් සමග ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වහාම ක්‍රියාත්මක වී ක්‍රීඩකයින් සමග මේ පිළිබඳ සාකච්ඡා කර තිබෙනවා.
එමෙන්ම සෑම අයෙකුගේම ආරක්ෂාව සහ යහපැවැත්ම සහතික කිරීම සඳහා පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලය තමන්ට සහතික වූ බව ක්‍රිකට් ආයතනය පවසනවා.
මේ අතර ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් පාකිස්ථාන ක්‍රිකට් ආයතනය විසින් එරට ආරක්ෂාක අංශ සමඟද සාකච්ඡා කර තිබෙනවා.
පාකිස්තානයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා ද වන ක්‍රිකට් ආයතන සභාපති මෝශින් නක්වි, ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගේ ආරක්ෂාව පිළිබඳව සහතික කිරීම සහ සංචාරය දිගටම කරගෙන යාමට ක්‍රීඩකයින් දිරිමත් කිරීම සඳහා කණ්ඩායම හමුවීමට තීරණය කර ඇති බව වාර්තා වනවා.
ඔහු ඊයේ උදෑසන පාකිස්තානයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ෆ්‍රෙඩ් සිරිවීර මහතා හමු වූ අතර. ශ්‍රී ලංකා කණ්ඩායමට ලබා දී ඇති ආරක්ෂාව පිළිබඳ සවිස්තරාත්මක විස්තරයක් ලබා දී ඇති බවත්, සිරිවීර මහතා එම විධිවිධාන පිළිබඳව සිය සතුට පළ කළ බවත් පාකිස්තාන ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියා.
මෙම තත්ත්වය තුළ තරගාවලිය සැලසුම්කළ පරිදි අඛණ්ඩව පවත්වාගෙන යාමට ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් සියලුම ක්‍රීඩකයින්ට, සහායක කාර්ය මණ්ඩලයට සහ කණ්ඩායම් කළමනාකාරිත්වයට උපදෙස් දුන් බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරන්නේ.
කෙසේ වෙතත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නියෝගය නොතකා කණ්ඩායමේ ඕනෑම ක්‍රීඩකයෙකු හෝ සාමාජිකයෙකු ශ්‍රී ලංකාවට ආපසු ඒමට තීරණය කළහොත්, තරගාවලිය බාධාවකින් තොරව අඛණ්ඩව පවත්වාගෙන යාම සහතික කිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වහාම ඊට ආදේශක ක්‍රීඩකයන් යොමුකරන බවද ක්‍රිකට් ආයතනය පවසා තිබෙනවා .
ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නියෝග නොතකා කිසියම් ක්‍රීඩකයෙකු හෝ සහායක කාර්ය මණ්ඩලයේ සාමාජිකයෙකු ආපසු පැමිණියහොත්, ඔවුන් සම්බන්ධයෙන් විධිමත් පරික්ෂණයක් පවත්වා සුදුසු ක්‍රියාමාර්ග ගන්නා බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කල නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.