2026 වසරේ පැවැත්වෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් 20 – 20 ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය, මේ වනවිට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි හිදී පැවැත්වෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ, මෙතෙක් ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙකු අයි.පී.එල්. තරගාවලියකදී හිමි වූ වැඩිම මිලකට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම විසින් මිලදී ගනු ලැබීම විශේෂත්වයක්.
2026 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය ලබන වසරේ මාර්තු මස 26 වැනිදා සිට මැයි 31 දක්වා පැවැත්වීමට නියමිතයි. ඒ කණ්ඩායම් 10ක සහභාගීත්වයෙන්. මෙවර ක්‍රීඩක වෙන්දේසිය සඳහා ඉන්දීය ක්‍රීඩකයින් 251 දෙනෙකුගේ සහ විදෙස් ක්‍රීඩකයින් 118 දෙනෙකුගේ නම් ඉදිරිපත්ව තිබුණා.
ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 12 දෙනෙකුගේ නම් ද ඊට ඇතුළත්. ඉන් ඉහළම මූලික ලංසුව වන, ඉන්දීය රුපියල් කෝටි දෙකේ කාණ්ඩයට වනිඳු හසරංග, මහීෂ් තීක්‍ෂණ සහ මතීෂ පතිරණගේ නම් ඇතුළත්ව තිබුණා.
ඒ අනුව වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ, ඉන්දීය රුපියල් කෝටි 18 ක මුදලකට මිලදී ගනු ලැබුවේ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම විසින්. එය දළ වශයෙන් ශ්‍රී ලංකා රුපියල් කෝටි 61.20 ක්. මෙය වාර්තා වන්නේ අයි.පී.එල්. ක්‍රීඩක වෙන්දේසියකදී මෙතෙක් ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු අලෙවි වූ වැඩිම මුදල ලෙසයි.
මේ අතර දඟ පන්දු යවන ක්‍රීඩක වනිදු හසරංග, ලක්නව් සුපර් ජෑන්ස් කණ්ඩායම විසින් මිලදී ගනු ලැබුවා. ඒ, ඉන්දීය රුපියල් කෝටි 2 ක මුදලකටයි. එය දළ වශයෙන් ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 6.8 ක් වනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු, පැතුම් නිස්සංක ඉන්දීය රුපියල් කෝටි 4 ක මිලකට දිල්ලි කැපිටල්ස් කණ්ඩායම විසින් මිලදී ගනු ලැබුවා. එය දළ වශයෙන් ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 13.6 ක්. පැතුම් නිස්සංක සහභාගි වන පළමු අයි.පී.එල්. තරගාවලිය මෙයයි.
මේ දක්වා පැවති වෙන්දේසිය තුළ වැඩිම මිලකට අලෙවි වූ ක්‍රීඩකයා වන්නේ ඔස්ට්‍රේලියානු තුන් ඉදිරිව් ක්‍රීඩක කැමරන් ග්‍රීන්. කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම ඔහු මිලදී ගෙන ඇත්තේ, ඉන්දීය රුපියල් කෝටි 25.20 කටයි. එම මුදල දළ වශයෙන් ශ්‍රී ලංකා රුපියල් කෝටි 85.70 ක්. අයි.පී.එල්. වෙන්දේසියකදී විදෙස් ක්‍රීඩකයෙකුට මෙතෙක් හිමි වූ ඉහළම වටිනාකම ලෙසයි එය වාර්තා වන්නේ.