Cricket

2024 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ තරග අවසන්වෙයි..!!

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ තරග ඊයේ අවසන් වුණා. ඒ අනුව, ලකුණු සටහනට අනුව පළමු ස්ථානයේ පසුවන කොල්කටා නයිට් රයිඩර්ස් සහ දෙවැනි ස්ථානයේ පසුවන සන්රයිසර්ස් හයිද්‍රාබාද් කණ්ඩායම් අතර පළමු සුදුසුකම් ලබා ගැනීමේ තරගය හෙට පැවැත්වීමට නියමතයි. ඉන් ජය ගන්නා කණ්ඩායම, සෘජුවම අවසන් මහා තරගයට සුදුසුකම් ලබනවා. තරගාවලියේ 69 වැනි තරගය ලෙස පංජාබ් කිංග්ස් සහ සන්රයිසර්ස් හයිද්‍රාබාද් අතර තරගය ඊයේ පැවැත්වුණේ, හයිද්‍රාබාද් හිදී. පළමුවෙන් පන්දුවට පහර දුන් පංජාබ් කිංග්ස් කණ්ඩායම, පන්දුවාර 20 ඇතුළත කඩුලු 5 ක් දැවී ලකුණු 214 ක් රැස් කළා. ප්‍රබ් ස්ම්රාන් සිංග් ලකුණු 71 යි. පන්දු යැවීමේදී ටී නටරාජන් කඩුලු 2 දවා ගත්තා. විජයකාන්ත් වියන්ස් කාන්ත් ලකුණු 37 කට කඩුල්ලක් බිඳ හෙලීමට සමත් වුණා. පිළිතුරු ලෙස සන්රයිසර්ස් හයිද්‍රාබාද් කණ්ඩායම තරගය ජය ගත්තේ, පන්දුවාර 19 යි පන්දුවකදී කඩුලු 6 ක් දැවී ලකුණු 215 ක් රැස් කරමින්. අභිෂේක් ශර්මා ලකුණු 66 යි. හෙන්රිච් ක්ලාසන් ලකුණු 42 ක් රැස් කළා.

මැයි 20, 2024 - Sudarsha Warnakulasooriya

අන්තර් සමාජ T20 ක්‍රිකට් තරගාවලියේ පොලිස් කණ්ඩායම සමග තරගය ලකුණු 46 කින් ජය ගැනීමට CCC කණ්ඩායම සමත්වෙයි..!!

අන්තර් සමාජ 20-20 ක්‍රිකට් තරගාවලියේ පොලිස් කණ්ඩායම සමග ඊයේ පැවති තරගය ලකුණු 46 කින් ජය ගැනීමට සීසීසී කණ්ඩායම සමත් වුණා. තරගය පැවැත්වුණේ, කොළඹ එස්එස්සී ක්‍රීඩාංගණයේදී. පළමුවෙන් පන්දුවට පහර දුන් සීසීසී කණ්ඩායම පන්දුවාර 20 ඇතුළත කඩුලු 7 ක් දැවී ලකුණු 157 ක් රැස් කළා. ලසිත් කෲස්පුල්ලේ ලකුණු 48 ක් සහ පවන් පතිරාජ ලකුණු 46 ක් රැස් කළා. පන්දු යැවීමේදී සුපුන් මධුශංක කඩුලු 4 යි. පිළිතුරු ලෙස පොලිස් කණ්ඩායමට පන්දුවාර 19 පන්දු 4 කදී සියලු ක්‍රීඩකයින් දැවී රැස් කිරීමට හැකි වූයේ ලකුණු 129 ක් පමණයි. හේෂාන් ධනුෂ්ක ලකුණු 48 යි. පන්දු යැවීමේදී ඉසුරු උදාන, අෂාන් ප්‍රියන්ජන්, ලක්ෂාන් සඳකැන් සහ චතුරංගද සිල්වා කඩුලු ‍2 බැගින් බිඳහෙලුවා. එම තරගාවලිය යටතේ, නුගේගොඩ ක්‍රීඩා සමාජය සමග පැවති තරගය කඩුලු 7 කින් ජය ගැනීමට එන් සී සී කණ්ඩායම සමත් වුණා. තරගය පැවැත්වුණේ, බ්ලූම් ෆීල්ඩ් ක්‍රීඩාංගනයේදී. තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් නුගේගොඩ කණ්ඩායම පන්දුවාර 19 යි පන්දුවකදී සියලු ක්‍රීඩකයින් දැවී ලකුණු 132 ක් රැස් කළා. ඇන්ජලෝ පෙරේරා ලකුණු 34 යි. පන්දු යැවීමේදී චාමික කරුණාරත්න සහ ලසිත් ඇඹුල්දෙණිය කඩුලු 3 බැගින් බිඳහෙලුවා. පිළිතුරු ලෙස එන් සී සී කණ්ඩායම තරගය ජය ගත්තේ, පන්දුවාර 12 යි පන්දුවක් ඇතුළත කඩුලු 3 ක් දැවී ලකුණු 135 ක් රැස් කරමින්. කමිල් මිෂාර ලකුණු 63 ක් සහ නිරෝෂන් දික්වැල්ල ලකුණු 45 ක් රැස් කළා.

මැයි 15, 2024 - Sudarsha Warnakulasooriya

අයර්ලන්තය සමග පැවති තෙවැනි ක්‍රිකට් තරගය, කඩුලු 6 කින් ජය ගැනීමට පාකිස්තානය සමත්වෙයි..!!

අයර්ලන්තය සමග පැවති තෙවැනි ක්‍රිකට් තරගය, කඩුලු 6 කින් ජය ගැනීමට පකිස්තානය සමත් වුණා. පකිස්තානය තරගාවලිය ජය ගත්තේ, තරග 2 ට 1 ක් ලෙසයි. ඩබ්ලින් හිදී පැවැති තරගයේ, පළමුවෙන් පන්දුවට පහර දුන්නේ, අයර්ලන්තයයි. ඔවුන් පන්දුවාර 20 ඇතුළත කඩුලු 7 ක් දැවී ලකුණු 178 ක් රැස් කළා. නායක ලූකන් ටකර් ලකුණු 73 යි. පන්දු යැවීමේදී ෂහින්ෂා අෆ්රිඩි කඩුලු 3 ක් දවා ගත්තා. පිළිතුරු ලෙස පකිස්තානය තරගය ජය ගත්තේ, පන්දුවාර 17 කදී කඩුලු 4 ක් දැවී ලකුණු 181 ක් රැස් කරමින්. නායක බාබර් අසාම්, පන්දු 42 කදී ලකුණු 75 යි. ඔහුගේ ඉනිමට 4 පහර 6 ක් සහ 6 පහර 5 ක් ඇතුළත්. මොහොමඩ් රිස්වාන් ලකුණු 56 යි.

මැයි 15, 2024 - Sudarsha Warnakulasooriya

වනිඳු හසරංග සහ ශකීබ් අල් හසන් 20-20 තුන් ඉරියව් ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට..!!

20-20 තුන් ඉරියව් ක්‍රීඩකයින්ගේ ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ලංකා නායක වනිඳු හසරංග සහ බංග්දේශ තුන් ඉරියව් ක්‍රීඩක ශකීබ් අල් හසන් සමත්ව තිබෙනවා. අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය නවතම ශ්‍රේණිගත කිරීම අද ප්‍රකාශයට පත් කළා. පළමු ස්ථානයේ පසු වන වනිඳු හසරංගට සහ ශකීබ් අල් හසන්ට හිමිව ඇති ශ්‍රේණිගත කිරීම් ලකුණු සංඛ්‍යාව 228 ක්. 20-20 අන්තර් ජාතික තරග 65 කදී ශ්‍රී ලංකාව නියෝජනය කර ඇති වනිඳු පන්දු යවන්නෙකු ලෙස බිඳ හෙලා ඇති කඩුලු සංඛ්‍යාව 104 ක්. ඔහුගේ හොඳම පන්දු යැවීම ලෙස සටහන් වන්නේ, ලකුණු 9 කට කඩුලු 4 ක් බිඳ හෙලීමයි. මේ අතර, පිතිකරුවෙකු ලෙස ලකුණු 650 ක් රැස් කිරීමට වනිඳු හසරංග සමත්ව තිබෙනවා. වනිඳු තරගයක රැස් කර ඇති වැඩිම ලකුණු සංඛ්‍යාව 71 ක්. මෙවර, ලෝක කුසලාන 20-20 ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය ලබා දෙන්නේ ද වනිඳු හසරංග.

මැයි 15, 2024 - Sudarsha Warnakulasooriya

ඇෆ්ගනිස්තාන “ඒ” කණ්ඩායම සමග නිල නොවන ටෙස්ට් තරගය, ඉනිමකින් සහ ලකුණු 26 කින් ජයගැනීමට ශ්‍රී ලංකා “ඒ” කණ්ඩායම අද සමත්වෙයි..!!

ඇෆ්ගනිස්තාන “ඒ” කණ්ඩායම සමග පැවති නිල නොවන ටෙස්ට් ක්‍රිකට් තරගය, ඉනිමකින් සහ ලකුණු 26 කින් ජයගැනීමට ශ්‍රී ලංකා “ඒ” කණ්ඩායම අද සමත් වුණා. තරගය පැවැත්වුණේ, කොළඹ පී සරා ඕවල් ක්‍රීඩාංගනයේදී. පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා “ඒ” කණ්ඩායම පළමු ඉනිමට සියලු ක්‍රීඩකයින් දැවී ලකුණු 435 ක් රැස් කළා. සොනාල් දිනූෂ ලකුණු 145 යි. වනුජ සහන් ලකුණු 75 ක් රැස් කළා. පන්දු යැවීමේ සියාර් උර් රහ්මාන් කඩුලු 6 ක් දවා ගත්තා. පිළිතුරු ලෙස ඇෆ්ගනිස්තාන “ඒ” කණ්ඩායම පළමු ඉනිමට රැස් කළේ, ලකුණු 198 ක් පමණයි. ඉ නිමක පරාජයකින් බේරීම සඳහා දෙවැනි ඉනිම ක්‍රීඩා කළ ඇෆ්ගනිස්තාන කණ්ඩායමට එහිදී ලබා ගැනීමට හැකි වූ ලකුණු සංඛ්‍යාව 211 ක්. ඉජාස් අහ්මඩ් ලකුණු 54 යි. පන්දු යැවීමේදී නිසල තාරක කඩුලු 6 ක් දවා ගත්තා.

මැයි 14, 2024 - Sudarsha Warnakulasooriya

ලෝක කුසලාන T20 ක්‍රිකට් තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනෙන් පිටත්ව යයි..!!

ලෝක කුසලාන 20 - 20 ක්‍රිකට් තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම අද උදේ දිවයිනෙන් පිටත්ව ගියා. තරගාවලිය අමෙරිකාවේ දී සහ බටහිර ඉන්දීය කොදෙව් දේශයේ දී පැවැත්වීමට නියමිතයි. ලෝක කුසලාන 20 - 20 ක්‍රිකට් තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම අද උදේ දිවයිනෙන් පිටත්ව ගියා. තරගාවලිය අමෙරිකාවේ දී සහ බටහිර ඉන්දීය කොදෙව් දේශයේ දී පැවැත්වීමට නියමිතයි. ‍ තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා වනිදු හසරංග. කණ්ඩායමට ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුළත්. මීට අමතරව, අතිරේක ක්‍රීඩකයින් සිව්දෙනෙකු ද කණ්ඩායම සමග අද පිටත්ව ගියා. ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය, ලබන මස දෙවැනිදා සිට 29 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි. ශ්‍රී ලංකාව මූලික වටයේදී තරග වදින්නේ “ඩී” කාණ්ඩයෙන්. ඊට ඇතුළත් සෙසු රටවල් වන්නේ, දකුණු අප්‍රිකාව, බංග්ලාදේශය, නෙදර්ලන්තය සහ නේපාලයයි. ශ්‍රී ලංකාව ලබන මස 03 වැනිදා දකුණු අප්‍රිකාව සමග සිය පළමු තරගයට සහභාගී වීමට වැදීමට නියමිතයි.

මැයි 14, 2024 - Sudarsha Warnakulasooriya

විස්සයි විස්ස ලෝක කුසලානයට බලාපොරොත්තු වූ කණ්ඩායම ලැබුණා.. අපි කුසලානය ගේනවා..!!

විස්සයි විස්ස ලෝක කුසලානයට බලාපොරොත්තු වූ කණ්ඩායම ලැබුණා.. අපි කුසලානය ගේනවා..!! විස්සයි විස්ස නායක වනිදු හසරංග පවසයි. විස්සයි විස්ස ලෝක කුසලානයට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ආගමික වතාවත් සිදු කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් පිටව ගියා. මෙවර ඇමරිකාවේදී පැවතීමට නියමිත 2024 ලෝක කුසලානය සඳහා සහභාගි වෙන ශ්‍රී ලංකා කණ්ඩායම වනිදු හසරංගගේ නායකත්වයෙන් යුක්තව ක්‍රීඩා කිරීමට නියමිතයි.. එම කණ්ඩායම අද පස්වරුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පැවතූ සර්ව ආගමික වතාවත් වලට සහභාගි වූ අතර සමූහ ඡායාරූපයකට ද පෙනී සිටියා.. මෙම කුසලානය පිළිබඳව ඇන්ජලෝ මැතිව්ස් සහ වනිදු හසරඟ මාධ්‍ය වෙත අදහස දැක්වුවා. ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම අද පස්වරුයි ක්‍රිකට් ආයතනයෙන් පිටත්ව ගිය අතර ඔවුන් මෙරටින් පිටත් වීමට පෙර ජනාධිපතිවරයා මුණ ගැසීමටද නියමිතයි..

මැයි 13, 2024 - Sudarsha Warnakulasooriya

ලෝක කුසලාන 20-20 ක්‍රිකට් තරගාවලිය සදහා සහභාගි වන ශ්‍රී ලංකා සංචිතය ප්‍රකාශයට පත්කරයි..!!

ලෝක කුසලාන 20-20 ක්‍රිකට් තරගාවලිය සදහා සහභාගි වන ශ්‍රී ලංකා සංචිතය අද ප්‍රකාශයට පත් කලා. වනිදු හසරංග නායකත්වය දරන ශ්‍රී ලංකා සංචිතයට ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුළත්. ජුනි මස 01 වැනිදා සිට 29 දක්වා තරගාවලිය අමෙරිකාවේදී සහ බටහිර ඉන්දීය කොදෙව් හිදී පැවැත්වෙනවා. නම් කළ කණ්ඩායමේ උප නායකයා චරිත් අසලංක. කුසල් මෙන්ඩිස්, පැතුම් නිස්සංක, කමිදු මෙන්ඩිස්, සධීර සමරවික්‍රම, ඇන්ජෙලෝ මැතිව්ස්, දසුන්ක ශානක, ධනංජය ද සිල්වා, මහීශ් තීක්ශණ, දුනිත් වෙල්ලාලගේ, දුශ්මන්ත චමීර, නුවන් තුෂාර, මතීෂ පතිරණ සහ ඩිල්ශාන් මදුශංක කණ්ඩායමට ඇතුළත්. කණ්ඩායම සමග සංචාරය කරන අතිරේක ක්‍රීඩකයින් වන්නේ අසිත ප්‍රනාන්දු, විජේකාන්ත් වියස්කාන්ත්, භානුක රාජපක්ෂ සහ ජනිත් ලියනගේ.

මැයි 9, 2024 - Sudarsha Warnakulasooriya

IPL ක්‍රිකට් තරගාවලියේ 57 වැනි තරගයෙන් කඩුලු 10 ක ජයක් හිමිකර ගැනීමට සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සමත්වෙයි..!!

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 57 වැනි තරගයෙන් කඩුලු 10 ක ජයක් හිමිකර ගැනීමට සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සමත් වුණා. ඔවුන් තරග වැදුණේ, ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම සමගයි. තරගය පැවැත්වුණේ, ඉන්දියාවේ හයිද්‍රාබාද්හිදී. පළමුවෙන් පන්දුවට පහරදුන් ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම, පන්දුවාර 20 ඇතුළත කඩුලු 4 ක් දැවී ලකුණු 165 ක් රැස් කළා. අයුෂ් බඩෝනි නොදැවි ලකුණු 55 යි. නිකොලස් පූරන් නොදැවි ලකුණු 48 ක් ලබා ගත්තා. පන්දු යැවීමේ දී බුවනේෂ් කුමාර් ලකුණු 12 කට කඩුලු 2 ක් බිඳ හෙලුවා. අනතුරුව, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම පන්දුවාර 9 යි පන්දු 4 ක් අවසානයේ කිසිවෙකු නොදැවි ලකුණු 167 ක් රැස් කරමින් තරගයේ ජය හිමිකර ගත්තා. ට්‍රැවිස් හේඩ් නොදැවි ලකුණු 89 ක් ලබා ගත් අතර, අභිෂේක් ශර්මා නොදැවි ලකුණු 75 යි. මෙවර තරගාවලියේ ඕනෑම කඩුල්ලක් සදහා වාර්තා වූ ඉහළම ලකුණු සම්බන්ධතාවයද මෙයයි. මෙවර තරගාවලියේදී ඔවුන් බැංගලෝරයට එරෙහිව ලකුණු 287ක් ලබා ගනිමින් IPL තරගාවලියක සහ මෙවර තරගාවලියේ ඔවුන් රැස් කළ ඉහළම ලකුණු සංඛ්‍යාවටද හිමි කම් කියනවා. සන්රයිසස් කණ්ඩායමේ දඟ පන්දු යැවීමේ පුහුණුකරු වන්නේ ශ්‍රී ලංකාවෙන් බිහිවූ විශිෂ්ට ක්‍රීඩක මුත්තයියා මුරලිදරන්. මේ වන විට ලකුණු සටහන අනුව ඔවුන් තෙවන ස්ථානයේ රැඳී සිටිනවා.

මැයි 9, 2024 - Sudarsha Warnakulasooriya

T20 කාන්තා ලෝක කුසලාන සුදුසුකම් ලබාගැනීමේ තරගාවලිය අපරාජිතව නිමාකරමින් සමස්ත ශූරතාවය ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට..!!

විස්සයි 20 කාන්තා ක්‍රිකට් ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ සහභාගී වූ තරග 6ම ජය ගනිමින් සමස්ත ශූරතාවය දිනා ගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් වුනා. ඒ අබුඩාබි හිදී ඊයේ පැවති අවසන් මහා තරගයේදී ස්කොට්ලන්තය පරාජය කරමින්. කාසියේ වාසිය පරාජයට පත්වී අබුඩාබි සයෙඩ් පිටියේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 169ක් ලබා ගත්තා. ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු පන්දු 63 කදී ලකුණු 102ක් ලබා ගත්තේ හයේ පහර 4ක් සහ හතරේ පහර 13ක් සමගින්. මෙය අතපත්තු වාරතා කළ දෙවන T20 ශතකයයි. අවසන් පන්දු වාරය තෙක් කඩුල්ලේ රැඳී සිටිමින් ශ්‍රී ලංකා කන්ඩායමේ නැංගුරම වූ චමරිට අනගි සහයක් ලබා දෙන්නට ශ්‍රී ලංකා මුල් පෙළ සහ මැද පෙළට හැකි වුනා. රචෙල් ස්ලැටර් කඩුලු 2ක් දවා ගත්තා. ලකුණු 170 ක ඉලක්කය හඹා යාමට පිටියට පිවිසි ස්කොට්ලන්තය අසරණ කළ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ පන්දු වාර 20 අවසානයේ ඔවුන්ගේ ඉනිම ලකුණු 101/7 කට සීමා කළා. උදේශිකා ප්‍රබෝධනී කඩුලු 3ක්දවා ගත්තා. ඒ අනුව ලකුණු 68 ක ජයක් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සතු වුනා. තරගයේ ක්‍රීඩිකාව චමරි අතපත්තු.

මැයි 8, 2024 - Sudarsha Warnakulasooriya