යුරො ෆෝමියුලා විවෘත තරගාවලියේ බෙල්ජියම් අදියරේ තුන්වැනි තරගයේ, දෙවැනි ස්ථානය හිමි කර ගැනීමට ශ්‍රී ලංකා මෝටර් රථ ධාවන ශූර යෙවාන් ඩේවිඩ් සමත් වුණා.
මේ වන විට විවෘත තරගාවලියේ ලකුණු සටහනේ පෙරමුණේ පසුවන්නේද යෙවාන් ඩේවිඩ්.
යුරො ෆෝමියුලා තරගාවලියේ බෙල්ජියම් අදියර තරග තුනකින් සමන්විත වුණා. එහි පළමු තරගයේ, පළමු ස්ථානය හිමි කර ගත් යෙවාන් ඩේවඩ් දෙවැනි තරගය අවසන් කළේ, සිව්වැන්නා ලෙසයි.
තුන්වැනි තරගයේ දෙවැනි ස්ථානය යෙවාන් ඩේවිඩ් හිමි කර ගත්තේ, පළමු ස්ථානය දිනූ ධාවකයාට වඩා තත්පර 0.98 ක කාලයක් පිටුපසින් සිටිමින්.
පළමු ස්ථානය හිමි කර ගත්තේ පෝලන්ත ජාතික ටිමෙට් කුචාසික්. මීට පෙර පැවති පෘතුගාල අදියරේ සහ බෙල්ජියම් අදියරේදී දැක්වූ දක්ෂතා අනුව, සමස්ත තරගාවලියේ ධාවකයින් අතර, පෙරමුණේ පසුවන්නේ යෙවාන් ඩේවිඩ්.
ඒ, ලකුණු 122 ක් හිමි කර ගනිමින්. යුරො ෆෝමියානු විවෘත තරගාවලියේ මීලග අදියර ලබන මස 8 වැනිදා ජර්මනියේදී පැවැත්වීමට නියමිතයි.