සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම හා ඉන්දියාව අතර පැවැත්වෙන තරග 5කින් යුක්ත විස්සයි 20 තරගාවලියේ ඊයේ පැවති තුන්වන තරගය කඩුලු 7කින් ජයගැනීමට ඉන්දියාව සමත් වුණා.
මුලින් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානු කණ්ඩායමේ අසාර්ථක පිතිකරණය නිසා පන්දුවාර 20 අවසානයේ සියලු දෙනා දැවී ලබාගැනීමට හැකිවුණේ ලකුණු 117ක් පමණයි. දකුණු අප්‍රිකාව වෙනුවෙන් සාර්ථක වූ එකම පිතිකරුවා වූයේ නායක ඒඩ්න් මාක්‍රම් පමණයි. මාක්‍රම් පන්දු 46ට ලකුණු 61ක් ලබාගත්තා.
ඉන්දියාව වෙනුවෙන් පන්දු යැවූ පන්දු යවන්නන් 6 දෙනාම කඩුලු ලබාගත් අතර අර්ෂදීප් සිං, හර්ෂිත් රානා, වරුන් චක්‍රවර්තී හා කුල්දීප් යාදව් කඩුලු 2 බැගින් ලබාගත්තා.
ඉන්දීය කණ්ඩායම ලකුණු 118ක මෙම පහසු ඉලක්කය පන්දුවාර 15.5කින් ලබාගත් අතර ඒ සඳහා ඔවුන්ට අහිමි වූයේ කඩුලු 3ක් පමණයි. අභිෂේක් ශර්මා පන්දු 18ට ලකුණු 35ක් ලබාගෙන වේගවත් ආරම්භයක් ලබාදුන්නා. ඉන්දීය කණ්ඩායමේ දැවී ගිය කඩුලු 3 මාකෝ යැන්සන්, කොබින් බොස්ච් හා ලුන්ගි එන්ගිඩි අතර බෙදී ගියා.
මේ ජයග්‍රහණයත් සමග ඉන්දීය කණ්ඩායම මෙම විස්සයි 20 තරගාවලියේ තරග 2-1ක් ලෙස පෙරමුණට පැමිණුනා. තරගාවලියේ තවත් තරග 2ක් ඉතිරිව ඇති අතර මීළඟ තරගය 17 වනදා ලක්නව් හීදී පැවැත්වීමට නියමිතයි.