කාන්තා T20 ආසියානු කුසලාන අවසාන මහා තරගය සඳහා මේ වන විට ඉන්දියාව හා ශ්‍රී ලංකාව සුදුසුකම් ලබා ඇත. මෙම කණ්ඩායම් දෙකේම දක්ෂ තාපන්දු යවන්නන් සිටින නිසා, මෙය දඟ පන්දුයවන්නන්ගේ ගැටුමක් බවට පත් වීමට නියමිතයි.
දීප්ති ශර්මා මෙහෙයවන ඉන්දියානු දඟපන්දු බලඇණිය තරගාවලිය පුරා කඩුලු 26 ක් ලබාගෙන ඇති අතර, එය කණ්ඩායමක් ලබාගත් වැඩිම කඩුලු ගණනයි. දෙවැනි තැන සිටින ශ්‍රී ලංකාව කඩුලු 25 ක් ලබාගෙන ඇත. එම නිසා මෙම අවසාන තරගය දඟපන්දු යවන්නියන් අතර විශාල තරගයක් වන බව පැහැදිලිය.
ඉන්දීය කණ්ඩායම පැත්තෙන් බලන විට ඔවුන් සෑම අංශයකින්ම ප්‍රබල මට්ටමක සිටිති. ස්මෘති මන්දනා සහ ෂෆාලි වර්මා වැඩිම ලකුණු සංඛ්‍යාවක් ලබාගෙන තිබේ.
ඩුබායි හි වේගය අඩු තණ තීරුවල පිතිකරණයෙන් ඉදිරියට ඒමට ශ්‍රී ලංකාවට ලොකු සටනක් දීමට සිදු විය. පාකිස්ථානයට එරෙහි අවසාන පූර්ව තරගයේදී ලකුණු 33 කට කඩුලු 4 ක් දැවී තිබූ ශ්‍රී ලංකා ඉනිම ගොඩනගා තරගය ජයග්‍රහණය කරා ගෙන ගියේ හර්ෂිතා සමරවික්‍රම සහ කවිෂා දිල්හාරිය. ඊට පෙර බංග්ලාදේශයට එරෙහි තරගයේදී ලකුණු 44 කට කඩුලු 5 ක් දැවී ගිය අතර, එහිදීද හර්ෂිතාගේ සන්සුන් ඉනිම නිසා අවසාන පූර්ව වටයේ ඉඩ වෙන් කර ගැනීමට හැකි විය. ලීග් වටයේ ඉන්දුනීසියාවට එරෙහිවද ලකුණු 45 කට කඩුලු 5 ක් දැවී තිබියදී නිලක්ෂිකා සිල්වා කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියා.
ශ්‍රී ලංකා පිතිකරණ බලඇණිය තරමක් අස්ථාවර බවක් පෙන්නුම් කරන අතර චමරි අතපත්තු ඉනිම 4 කදී ලබාගෙන ඇත්තේ ලකුණු 63 ක් පමණි. ඉමේෂා දුලානි ඉනිම 4 කදී ලකුණු 64 ක් ලබාගෙන සිටීම කණ්ඩායමට ගැටලුවකි. එසේම වේගපන්දු යවන නන්දනි ශර්මා හොඳින් පන්දු යවන නිසා, ශ්‍රී ලංකාවට මුහුණ දීමට සිදු වන ඉන්දීය පන්දු යැවීමේ බලඇණිය මෙතෙක් මුහුණ දුන් කණ්ඩායම්වලට වඩා අභියෝගාත්මක විය හැකිය.
ශ්‍රී ලංකාවට එරෙහිව ඉන්දියාවේ මෑත කාලීන වාර්තා දෙස බැලීමේදී ඉන්දියාව පෙරමුණේ සිටී. 2025 දෙසැම්බර් මාසයේදී ඉන්දියාවේදී පැවැති T20 තරග 5 ම ඉන්දියාව ජයග්‍රහණය කළ අතර, අවසන් T20 තරග 10 න් තරග 9 ක්ම ජයගෙන ඇත්තේ ඉන්දියාවයි.
නමුත් එම තරග රටාව ඇතුළත ශ්‍රී ලංකාව ලබාගත් එකම ජයග්‍රහණය හිමිවූයේ වඩාත්ම වැදගත් තරගයේදීය. ඒ 2024 දඹුල්ලේ පැවැති ආසියානු කුසලාන අවසාන තරගයේදී ලකුණු 166 ක ඉලක්කයක් කඩුලු 2 ක් පමණක් දැවී ලබාගනිමින් කුසලානය දිනා ගැනීමයි.
එම නිසා ශ්‍රී ලංකාවට අභියෝගයක් මෙන්ම ලොකු බලාපොරොත්තුවක්ද ඇත. නන්දනිගේ වේගපන්දු යැවීමට සහ දීප්ති, ශ්‍රී චරණි, ප්‍රේමා රාවට් යන ඉන්දීය දඟපන්දු ත්‍රිත්වයට සාර්ථකව මුහුණ දෙමින්, මැදපෙළ පිතිකාරිනියන්ට පමණක් බර නොතබා හොඳ ලකුණු සබඳතා ගොඩනැගීමට ශ්‍රී ලංකා ආරම්භක පිතිකාරිනියන්ට සිදු වේ.
ඉන්දීය කණ්ඩායම හොඳ සමබරතාවයකින් සහ දක්ෂතාවලින් පසුවන අතර, වත්මන් ශූරියන් වන ශ්‍රී ලංකාව අවසාන තරගයකදී ඕනෑම දෙයක් වෙනස් විය හැකි බව හොඳින්ම දනී. පිතිකරණයේ දුර්වලතා තිබුණද, ශ්‍රී ලංකාව සහ ඉන්දියාව යන කණ්ඩායම් දෙකම මෙවර ආසියානු කුසලාන තරගාවලියේ මෙතෙක් මුහුණ දුන් සියලුම තරග ජයගෙන තිබීමද විශේෂත්වයකි.