විශ්වයේ අසිරිමත්ම පාපන්දු සැණකෙළිය වන ෆිෆා ලෝක කුසලාන පාපන්දු තරගාවලිය අද ආරම්භ වනවා. සිව් වසරකට වරක් පැවැත්වෙන තරගාවලියේ මෙවර සංවිධාන කෙරෙන්නේ 23 වැනි වරටයි.
අමෙරිකාව, කැනඩාව සහ මෙක්සිකෝවේ සත්කාරකත්වයෙන් ලෝක කුසලාන පාපන්දු තරගාවලිය අද සිට ජූලි මස 19 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.
ඒ රටවල් 48 ක සහභාගීත්වයෙන්. ක්‍රීඩාංගණ 16 කදි තරග පැවැත්වීමටයි සැළසුම් කර ඇත්තේ. මූලික වටයේදී කාණ්ඩ 12 ක් යටතේ තරග පැවැත්වෙන අතර එක් කාණ්ඩයකට කණ්ඩායම් 4 බැගින් ඇතුළත්.
අද තරගාවලිය ආරම්භ කරමින් පළමු තරගය මෙක්‍සිකෝව සහ දකුණු අප්‍රිකාව අතර “ඒ” කාණ්ඩයෙන් පැවැත්වීමට නියමිතයි.
හෙට දිනයේදී දකුණු කොරියාව සහ චෙක් රාජ්‍යය අතර තරගය පැවැත්වෙනවා. මෙතෙක් ඉතිහාසයේ වැඩිම අවස්ථාවකදී ලෝක පාපන්දු කිරුළ හිමිකරගෙන ඇත්තේ බ්‍රසීලයයි. ඔවුන් අවස්ථා 05 කදී ලෝක කුසලාන පාපන්දු තරගාවලිය ජයගත්තා. මෙවර බ්‍රසිලය මූලික වටයේදී “සී” කාණ්ඩයෙන් තරග වැදීමට නියමිතයි.
බ්‍රසීලය 1958, 1962, 1970, 1994 සහ 2002 යන වසර වලදී ලෝක කුසලාන පාපන්දු කිරුළ හිමිකරගෙන තිබෙනවා. ජර්මනිය අවස්ථා 04 කදී මෙහි ශූරතාව හිමිකරගෙන ඇති අතර, ඉතාලියද අවස්ථා 04 කදී ලෝක පාපන්දු කිරුළ හිමිකර ගත්තා.
ලෝක කුසලනායේ වත්මන් ශුරයින් වන ආජන්ටිනාව මේ දක්වා අවස්ථා 03 කදී ලෝක පාපන්දු කිරුළ ජයගත්තා. ඒ 1978, 1986 සහ 2022 යන වසරවලදී.
මෙවර ඔවුන් මූලික වටයේදී තරග වදින්නේ “ජේ” කාණ්ඩය යටතේයි. මෙවර ලෝක කුසලාන පාපන්දු තරගාවලියට සහභාගී වන ක්‍රීඩකයින් අතරින් වැඩිම අවදානයක් දිනාගෙන ඇත්තේ ආජන්ටිනායේ ලියොනල් මෙසී සහ පෘතුගාලයේ ක්‍රිස්ටියානෝ රොනල්ඩෝ.
ඔවුන් දෙදෙනාම මෙවර තම 06 වන ලෝක කුසලනා පාපන්දු තරගාවලියට සහභාගී වනවා. මෙවර ලෝක කුසලාන පාපන්දු තරගාවලියට සහභාගී වන වයස්ගතම ක්‍රීඩකයා ලෙස වාර්තාවන්නේ ස්කොට්ලන්ත කණ්ඩායමේ ගෝල රකින ක්‍රීඩක ක්‍රේග් ගෝල්ඩන්.
ඔහු 43 හැවිරිදි ක්‍රීඩකයෙක්. තරගාවලියට සහභාගීවන ලාබාලතම ක්‍රීඩකයා ලෙස වාර්තාවන්නේ මෙක්සිකෝ කණ්ඩායම නියෝජනය කරන ගිල්බර්ටෝ මෝරා යි. ඔහු තවමත් 17 හැවිරිදි ක්‍රීඩකයෙකුවීම විශේෂත්වයක්.
කුරකාඕ, කේප්වර්ඩි, ජෝර්දාන් සහ උස්බෙකිස්තාන් යන රටවල් මෙවර පළමුවරට ලෝක කුසලාන පාපන්දු තරගාවලියට සහභාගීවීම විශේෂත්වයක්.
පැවැති ලෝක කුසලාන තරගාවලි 23 ටම සහභාගීවූ එකම රට බ්‍රසීලය වන අතර ජර්මනිය අවස්ථා 21 කදී සහ ආජන්ටිනාව අවස්ථා 19 කදී ලෝක කුසලාන පාපන්දු තරගාවලිය නියෝජනය කර තිබෙනවා.