ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ කණ්ඩායම අතර තරග දෙකකින් සමන්විත එක්දින තරගාවලියේ දෙවන තරගය අද පැවැත්වීමට නියමිතයි.
මේ තරගයත් හරාරේ හීදී පැවැත්වීමට නියමිත අතර තරගය ආරම්භවන්නේ ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 1.00ට ය.
ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගයට ජයග්‍රාහී මානසිකත්වයකින් සහභාගීවූවත්, පළමු තරගයේදී සිම්බාබ්වේ කණ්ඩායම ජයග්‍රහණය ආසන්නයටම පැමිණීම යම් තැතිගැන්මක් ඇතිවීමට හේතු විය හැකියි.
පලමු තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ මැදපෙළ පිතිකරණයේ තිබූ ශක්තිමත්බව නිසා ලකුණු 300 ආසන්නයට ලකුණු පුවරුව රැගෙන ඒමට සමත් වුවත් තරගය ජයගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 7කින් පමණයි.
එම තරගය සිම්බාබ්වේ කණ්ඩායම අතින් ගිලිහුණේ අවසන් පන්දුවාරයේදී ඩිල්ශාන් මධුසංක ලබාගත් කඩුලු ත්‍රිත්වය හේතුවෙනි.
ඒ අනුව සිම්බාබ්වේ කණ්ඩායමද අද තරගයට සහභාගී වනු ඇත්තේ ධනාත්මක මාන්සිකත්වයකිනි.
එසේම අත්දැකීම් බහුල සිකන්දර් රාසා වැනි ක්‍රීඩකයන් ලකුණු අතරට ප්‍රවේශ සිටීම ද ඔවුන්ට අමතර වාසියක් රැගෙන එනු ඇත.
බොහෝ දුරට ශ්‍රී ලංකා කණ්ඩායමේ සංයුතියේ කිසිඳු වෙනස්කමක් සිදුනොවීමට ඉඩ තිබෙන අතර සිම්බාබ්වේ පන්දු යැවීමේ අංශයේ වෙනස්කමක් සිදුකිරීමට ඉඩ ඇත.
අද පැවැත්වෙන තරගය මෙම එක්දින තරගාවලියේ අවසන් තරගය වන අතර ශ්‍රී ලංකාව මේ වන විට තරග 1-0ක් ලෙස ඉදිරියෙන් සිටී.