මෙවර අළු බඳුන ටෙස්ට් තරගාවලියේ දෙවන තරගය අද බ්‍රිස්බේන් හීදී ආරම්භ වුණා. පළමු දිනය අවසානයේ ජෝ රූට් ශතකයක් ලබාගෙන නොදැවී කඩුල්ලේ රැඳී සිටින අතර මිචෙල් ස්ටාර්ක් කඩුලු 6ක් දවාගත්තා.
කාසියේ වාසිය දිනූ එංගලන්ත කණ්ඩායම මුලින් පන්දුවට පහරදීමට තීරණය කළා. ඒ අනුව පලමු දිනය අවසානයේදී එංගලන්තය සිය පළමු ඉනිමට කඩුලු 9ක් දැවී ලකුණු 325ක් ලබාසිටිනවා.
එංගලන්තය වෙනුවෙන් සැක් ක්‍රෝව්ලි ලකුණු 76ක් ලබාගත් අතර ජෝ රූට් ලකුණු 135ක් ලබාගෙන නොදැවී කඩුල්ලේ රැඳී සිටිනවා. ජෝ රූට් ගෙ මේ ශතකය ඔහු ඕස්ට්‍රේලියාවේදී ලබාගත් පළමු ටෙස්ට් ශතකය ලෙස ද සටහන් වුණා. රූට් හට සහයවෙමින් ජොෆ්‍රා ආචර් ලකුණු 32ක් ලබාගෙන අවසන් කඩුල්ල වෙනුවෙන් වේගවත් ඉනිමක් ගොඩනගමින් සිටිනවා.
පන්දු යැවීමේදී ඕස්ට්‍රේලියාව වෙනුවෙන් මිචෙල් ස්ටාර්ක් කඩුලු 6ක් ලබාගත් අතර මයිකල් නෙසර් හා සොක්ට් බොලන්ඩ් එක් කඩුල්ල බැගින් ලබාගත්තා.