අයි සී සී නේෂන්ස් කුසලාන නැගී එන 20-20 කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශූරතාව හිමිකර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් අද සමත්වුණා. ඒ අවසන් තරගයේදි අයර්ලන්ත කණ්ඩායම පරාජය කරමින්.
තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අජ්මාන් හිදි පැවැත්වුණා. අද අවසන් මහා තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් අයර්ලන්තය පන්දුවාර 19 යි පන්දු 3 කදි සියලුම ක්‍රීඩිකාවන් දැවී ලකුණු 96 ක් රැස් කළා. වැඩිම ලකුණුලාභිනිය වූ අලානා ඩයිසර් ලකුණු 24 යි.
පන්දු යැවීමේදි සත්‍යා සන්දීපනි ලකුණු 13 කට කඩුලු 4 ක් දවාගත්තා. කවීෂා දිල්හාරි, නිමෂා මීපගේ,සුගන්ධිකා කුමාරි සහ චේතනා විමුක්ති එක් කඩුල්ල බැගින් බිඳහෙලුවා. පිළිතුරු ලෙස ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් තරගය ජයගත්තේ පන්දුවාර 12 යි පන්දු 4 කදි කඩුලු 4 ක් දැවී ලකුණු 99 ක් රැස් කරමින්. ඉමේෂා දුලානි නොදැවී ලකුණු 44 යි. සංජනා කාවින්දි ලකුණු 25 ක් රැස් කළා.
ඒ අනුව, අවසන් මහා තරගය කඩුලු 6 කින් ජයගත් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් තරගාවලියේ ශූරතාව තමන් සතු කරගත්තා. අවසන් තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස සත්‍යා සන්දීපනි සම්මාන දිනු අතර, තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව විශ්මි ගුණරත්න.