නොවැම්බර් 12 වන දින සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවති අවසන් මහා තරගයේදී නුගේගොඩ ශාන්ත ජෝසප් බාලිකා විද්‍යාලය ලකුණු 60–49ක් ලෙස පරාජය කරමින්, 2026 ශ්‍රී ලංකා පාසල් වයස අවුරුදු 20න් පහළ බාලිකා ‘A’ කාණ්ඩයේ පළමු පෙළ (Tier 1) පැසිපන්දු ශූරතාව දිනා ගැනීමට බම්බලපිටිය ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය (HFC) සමත් විය. මෙම ජයග්‍රහණයත් සමඟ ශ්‍රී ලංකා පාසල් පැසිපන්දු ක්ෂේත්‍රයේ සිය ආධිපත්‍යය තවදුරටත් තහවුරු කර ගැනීමට ඔවුන්ට හැකි වුණා.
ශූරතාවය දක්වා ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය පැමිණි ගමන් මඟ ඔවුන්ගේ නොපසුබට උත්සාහය, උපායමාර්ගික විනය සහ පරාජය ජයග්‍රහණයක් බවට පත් කර ගැනීමේ හැකියාව මැනවින් පෙන්නුම් කළා.
මූලික වටයේ පළමු තරගයේදී සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලය ලකුණු 48–31ක් ලෙස පරාජය කරමින් ප්‍රබල ආරම්භයක් ලබා ගැනීමට ඔවුහු සමත් වුණා. දෙවන තරගයේදී ශාන්ත ජෝසප් බාලිකා විද්‍යාලය හමුවේ ලකුණු 41–54ක පරාජයක් ලැබුවද, වහාම යථා තත්ත්වයට පත් වූ බම්බලපිටිය ක්‍රීඩිකාවෝ ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමය ලකුණු 47–33ක් ලෙස පරාජය කළහ. අනතුරුව මහනුවර මහාමායා බාලිකා විද්‍යාලය සමඟ පැවති තියුණු තරගයකින් ලකුණු 46–42ක ජයක් ලබා ගනිමින් පිළිමළුන් පිටුදැකීමේ වටයට සුදුසුකම් ලැබුවා.
නව ජවයකින් යුතුව පිළිමළුන් පිටුදැකීමේ වටයට පිවිසි ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය කිසිවෙකුටත් නැවැත්විය නොහැකි වුණා. අර්ධ අවසන් පූර්ව වටයේදී මහනුවර හිල්වුඩ් විද්‍යාලය ලකුණු 67–29ක් ලෙස දැවැන්ත පරාජයකට ලක් කළ ඔවුන්, අවසන් පූර්ව වටයේදී යළිත් වරක් මහාමායා බාලිකා විද්‍යාලය සමඟ තරග වැදී ආරම්භයේ සිට අවසානය දක්වාම තරගයේ පාලනය සියතට ගනිමින් ලකුණු 42–29ක විශිෂ්ට ජයක් වාර්තා කළා.
අවසන් මහා තරගයේදී ශාන්ත ජෝසප් බාලිකා විද්‍යාලය සමඟ යළිත් මුණගැසුණු ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය, මූලික වටයේදී ලැබූ පරාජයේ වාඩුව මැනවින් පිරිමසා ගැනීමට සමත් වුණා. වේගවත් ප්‍රහාර, ශක්තිමත් ආරක්ෂක උපක්‍රම සහ නිවැරදි ඉලක්කයන් සමඟින් නුගේගොඩ කණ්ඩායම ලකුණු 60–49ක් ලෙස පරාජය කරමින් Tier 1 ශූරතා කුසලානය දිනා ගැනීමට ඔවුන් සමත් වුණා.
තරගාවලියේ විශේෂ සම්මාන
තරගාවලියේ ප්‍රධානතම පෞද්ගලික සම්මාන සියල්ලම දිනා ගැනීමට ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය සමත් විය. එහිදී තරගාවලියේ වටිනාම ක්‍රීඩිකාව (Most Valuable Player) ලෙස බිනුති ජයසිංහ ද, හොඳම ප්‍රහාරාත්මක ක්‍රීඩිකාව (Best Offensive Player) ලෙස නෙතුලි විජේසේන ද සම්මාන ලැබුවා. ඔවුන් දෙදෙනා සමඟින් සෙනුත්මි ප්‍රනාන්දු සහ මිනාලි සිල්වා යන ක්‍රීඩිකාවෝ තරගාවලියේ විශිෂ්ටතම කණ්ඩායමට (Tournament MVP team) ද තේරී පත් .
ශූර කණ්ඩායම සහ නිලධාරී මණ්ඩලය
- විදුහල්පතිනිය: ගරු චරිතා තන්දලාගේ කන්‍යා සොහොයුරිය
- ක්‍රීඩා භාර ආචාරිනිය: උත්පලී ප්‍රේමචන්ද්‍ර මහත්මිය
- ප්‍රධාන පුහුණුකරු: ශේන් ඩැනියෙල් (Shane Daniel)
- උපදේශක පුහුණුකරු: රොෂාන් රන්දිම සූරියආරච්චි
- සහය පුහුණුකරු: චමත් ගිම්හාන
- කණ්ඩායමේ ක්‍රීඩිකාවන්: සෙනුත්මි ප්‍රනාන්දු (නායිකා), වැනේසා ප්‍රනාන්දු (උප නායිකා), එලීෂා ඩයස්, මිනුලි දබරේරා, අමායා හෙන්රි, මිනාලි සිල්වා, මිෂේනි පෙරේරා, රිෂ්මි පෙරේරා, බිනුති ජයසිංහ, අනුකි අබේපාල, අමෝද්‍යා පීරිස් සහ නෙතුලි විජේසේන.
තරගයෙන් තරගය විස්තරය
මූලික වටය (ජයග්‍රහණ 3, පරාජය 1)
- පළමු තරගය — සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයට එරෙහිව ජය (48–31): ලකුණු 17ක පහසු ජයග්‍රහණයක් සමඟින් ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය තරගාවලියට සාර්ථක ආරම්භයක් ලබා ගත්තා.
- දෙවන තරගය — ශාන්ත ජෝසප් බාලිකා විද්‍යාලයට එරෙහිව පරාජය (41–54): ප්‍රබල ශාන්ත ජෝසප් කණ්ඩායම හමුවේ ඔවුන් තරගාවලියේ ලැබූ එකම පරාජය මෙය වුණා.
- තෙවන තරගය — ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමයට එරෙහිව ජය (47–33): නැවතත් ජයග්‍රාහී මාවතට පිවිසි ඔවුහු ලකුණු 14ක විශිෂ්ට ජයක් වාර්තා කළා.
- සිව්වන තරගය — මහාමායා බාලිකා විද්‍යාලයට එරෙහිව ජය (46–42): තියුණු සටනකින් අනතුරුව ලකුණු 4ක ජයක් ලබා ගනිමින් ඔවුහු පිළිමළුන් පිටුදැකීමේ වටයට සුදුසුකම් ලැබුවා.
පිළිමළුන් පිටුදැකීමේ වටය (ජයග්‍රහණ 3, පරාජයන් 0)
- අර්ධ අවසන් පූර්ව වටය — හිල්වුඩ් විද්‍යාලයට එරෙහිව ජය (67–29): තරගාවලියේ සිය විශිෂ්ටතම දක්ෂතා ප්‍රදර්ශනය කරමින් ලකුණු 38ක දැවැන්ත ජයක් ලබා ගත්තා.
- අවසන් පූර්ව වටය — මහාමායා බාලිකා විද්‍යාලයට එරෙහිව ජය (42–29): මූලික වටයේ තියුණු තරගයට පසුව යළිත් හමු වූ මහාමායා කණ්ඩායමට එරෙහිව ශක්තිමත් ආරක්ෂක ක්‍රීඩා විලාසයක් පෙන්නුම් කරමින් ලකුණු 13කින් ජය ගත්තා.
- අවසන් මහා තරගය — ශාන්ත ජෝසප් බාලිකා විද්‍යාලයට එරෙහිව ජය (60–49): මූලික වටයේ පරාජයට සාර්ථකව පිළිතුරු දෙමින් ලකුණු 11කින් ශාන්ත ජෝසප් විද්‍යාලය පරාජය කර ශූරතා කුසලානය දිනා ගත්තා.