පංජාබ් කිංග්ස් කණ්ඩායම හා චෙන්නයි සුපර් කිංග්ස් කණ්ඩායම් අතර තරගය ඊයේ චෙන්නයි හීදී පැවැත්වුණා. එම තරගයෙන් කඩුලු 5ක ජයක් ලැබීමට පංජාබ් කිංග්ස් කණ්ඩායම සමත් වුණා. ඒ අනුව චෙන්නයි සුපර් කිංග්ස් කණ්ඩායම පිට පිටම සිය දෙවන තරගයත් පරාජයට පත් වූවා.
පළමුවෙන් පන්දුවට පහර දුන් චෙන්නයි සුපර් කිංග්ස් කණ්ඩායම කඩුලු 5ක් දැවී ලකුණු 209ක් රැස්කළා. නමුත් පංජාබ් කිංග්ස් කණ්ඩායම එම ලකුණු සංඛ්‍යාව කඩුලු 5ක් පමණක් දැවී, පන්දු 8ක් ඉතිරිව තිබියදී හඹායෑමට සමත් වුණා.
චෙන්නයි කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ට පිතිකරණයක යෙදුණු නවක ක්‍රීඩක ආයුෂ් මාත්රේ පන්දු 43ට ලකුණු 73ක් ලබාගත් අතර එම ඉනිමට හයේ පහර 5ක් හා හතරේ පහර 6ක් ඇතුලත් වුණා. එසේම, ශිවාම් ඩුබේ පන්දු 27ට ලකුණු 45ක් හා සරෆරාස් කාන් පන්දු 12ට ලකුණු 32ක් ලබාගත්තා.
පන්දු යැවීමේදී පංජාබ් කණ්ඩායම වෙනුවෙන් විජයකුමාර් වෛෂැක් කඩුලු 2ක් දවාගත් අතර, ෂැවියර් බාට්ලීට්, මාර්කෝ යැන්සන්, යුස්වේන්දර් චහාල් 1 කඩුල්ල බැගින් ලබාගත්තා.
පිලිතුරු ඉනිමේදී පංජාබ් කිංග්ස් ආරම්භක පිතිකරුවන් පළමු කඩුල්ලට ලකුණු 61ක සබදතාවයක් ගොඩනැගුවා. ප්‍රියාන්ෂ් ආර්යා පන්දු 11ට ලකුණු 39ක් හා ප්‍රබ්සිම්රන් සිං ලකුණු 43ක් ලබාගත්තා. නායක ශ්‍රේයස් අයියර් පන්දු 29ට ලකුණු 50ක් හා කූපර් කොනලි ලකුණු 36ක් ලබාගත්තා.
පන්දු යැවීමේදී චෙන්නයි කණ්ඩායම වෙනුවෙන් මැට් හෙන්රි හා අන්ශුල් කාම්බෝජ් කඩුලු 2 බැගින් ලබාගත්තා.
මෙම ජයග්‍රහණයත් සමග පංජාබ් කිංග්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානයට පැමිණි අතර චෙන්නයි කණ්ඩායම පිට පිට ලැබූ දෙවන පරාජයත් සමග සටහනේ අවසන් ස්ථානයෙහි පසු වෙනවා.