2027 ICC කාන්තා චැම්පියන්ස් කුසලාන ක්‍රිකට් තරගාවලියේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට අහිමි වුවද, එම තරගාවලිය සඳහා සෘජුවම සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකාව සමත්ව තිබෙනවා.
ඒ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් නිල වශයෙන් තහවුරු කලා.
කණ්ඩායම් 6ක සහභාගිත්වයෙන් පැවැත්වීමට නියමිත මෙම තරගාවලිය වෙනත් රටක පැවැත්වුණද, ශ්‍රී ලංකා කණ්ඩායමේ ස්ථානය එහි සුරක්ෂිතව පවතින බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසන්නේ.
එමෙන්ම තරගාවලිය සාර්ථකව පැවැත්වීම වෙනුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය, නව සත්කාරක රට මෙන්ම සියලු පාර්ශවකරුවන් සමග සමීපව කටයුතු කිරීමට සූදානම් බව ද ක්‍රිකට් ආයතනය නිකුත් කල නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.
අයි.සී.සී. වත්මන් ශ්‍රේණිගත කිරීම්වල 6 වැනි ස්ථානයේ පසුවීම ශ්‍රී ලංකාවට මෙම සෘජු සුදුසුකම හිමිවීමට හේතුවයි.
වත්මන් ශ්‍රේණිගත කිරීම්හි ඉදිරියෙන්ම සිටින ඔස්ට්‍රේලියාව, එංගලන්තය, ඉන්දියාව, නවසීලන්තය සහ දකුණු අප්‍රිකාව දැනටමත් මෙම තරගාවලියට සුදුසුකම් ලබා තිබෙනවා.