බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර පැවැත්වෙන ඩයමන්ඩ් ලීග් අවසන් අදියරේ මලල ක්‍රීඩා තරගාවලිය සඳහා හෙල්ල විසි කිරීමේ ශූර රුමේෂ් තරංග අද මධ්‍යම රාත්‍රියේදී සහභාගි වනවා.
රුමේෂ් තරංග මේ වන විට අඛණ්ඩව ඩයමන්ඩ් ලීග් තරගාවලි 4 කදී හෙල්ල විසි කිරීමේ ඉසව්වේ ප්‍රථම ස්ථානය හිමිකර ගෙන සිටිනවා. 2026 ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලිය අදියර 15 කින් සමන්විතයි. එහි අවසන් අදියර ඊයේ ආරම්භ කෙරුණු අතර එය අද දෙවැනි දිනටත් පැවැත්වෙනවා.
ඩයමන්ඩ් ලීග් තරගාවලියේදී ලොව සිටින දක්‍ෂතම මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් තරග වදිනවා. මේ වසරේ පැවති ඩයමන්ඩ් ලීග් අදියරවලදී ක්‍රීඩක ක්‍රීඩිකාවන් ලබාගත් ප්‍රසාද ලකුණු පදනම් කරගනිමින් බ්‍රසල්ස් ඩයමන්ඩ් ලීග් තරගාවලියට සුදුසුකම් ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන් තීරණය කෙරුණා.
මෙවර ඩයමන්ඩ් ලීග් අදියර 5 ක් නියෝජනය කළ රුමේෂ් තරංග, ඉන් 4 කදී ප්‍රථම ස්ථානය හිමිකර ගත් අතර එක් අදියරකදි දෙවැනි ස්ථානයට පත්වුණා. රබාට් ඩයමන්ඩ් ලීග් තරගාවලියේදී රිදී පදක්කම හිමිකරගත් ඔහු අනතුරුව රෝම් ඩයමන්ඩ් ලීග්, දෝහා ඩයමන්ඩ් ලීග්, ලොසෑන් ඩයමන්ඩ් ලීග් සහ සූරිච් ඩයමන්ඩ් ලීග් අදියරයන් හිදී අඛණ්ඩව ප්‍රථම ස්ථානය හිමිකර ගැනීම විශේෂත්වයක්.
රෝම් ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලියේදී මීටර 92.62 ක දක්‍ෂතාවක් ඔහු ප්‍රදර්ශනය කළ අතර එය මේ වසරේ මෙතෙක් ලොව හෙල්ල විසි කිරීමේ ක්‍රීඩකයෙකු දැක්වූ හොඳම දක්‍ෂතාවයයි. මේ අතර අවසන් වරට පැවති සූරිච් ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලියේදී ඔහු මීටර 92.07 ක දක්‍ෂතාවක් දක්වමින් ප්‍රථම ස්ථානය හිමිකර ගත්තා. අද රුමේෂ් තරංග සමග තවත් ක්‍රීඩකයින් 6 දෙනෙකු බ්‍රසල්ස් ඩයමන්ඩ් ලීග් තරගාවලියේ හෙල්ල විසි කිරීමේ අවසන් තරගයට සහභාගි වනවා. එය ශ්‍රී ලංකා වේලාවෙන් අද මධ්‍යම රාත්‍රියේදී ආරම්භ වීමට නියමිතයි.