තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ අමාත්‍යවරයාගේ ආරාධනයකට අනුව , ඉන්දීය විවෘත මලල ක්‍රීඩා තරගාවලියේ පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දී නව ජාතික වාර්තාවක් පිහිටුවීමට සමත් වූ, රුමේෂ් තරංග ක්‍රීඩකයා, අද ( අගෝස්තු 14) තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශයේ දී , තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ අමාත්‍යවරයා හමුවිය.
මෙහිදී පැවති සාකච්ඡාවේ දී තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ පැවසුවේ, රුමේෂ් තරංග ක්‍රීඩකයා ඉදිරියේ දී සහභාගී වීමට නියමිත සියලු තරග සඳහා ඔහුට සුබ පැතුම් එක් කරන බවයි.
ඉදිරියේදී පැවැත්වීමට නියමිත ලෝක ශූරතා හෙල්ල විසි කිරීමේ තරගාවලිය සහ 2028 වර්ෂයේදී පැවැත්වීමට නියමිත olympic තරඟාවලියට ඉදිරිපත් වීමට සිටින රුමේෂ් තරංග ක්‍රීඩකයාට අවශ්‍ය සියලු පහසුකම් සැපයීමට තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශය ලෙස අවශ්‍ය මැදිහත් වීම කරන බව මෙහිදී අමාත්‍යවරයා පැවසුවේ ය.
මෙම අවස්ථාවට එක් වෙමින් ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරන්න පැවසුවේ, මීටර් 86.50 ක් දුරකට හෙල්ල විසි කිරීමෙන් ලෝකයෙන්ම හත්වන ස්ථානයේ රැඳී සිටින රුමේෂ් තරංග වැනි දක්ෂ ක්‍රීඩකයන් ක්‍රීඩාව තුළ සුරක්ෂිතව රඳවා ගැනීමට අවශ්‍ය මැදිහත් වීම සිදු කරන බවයි.
ඉදිරියේදී විදෙස් පුහුණුකරුවන්ගේ දැනුම රැගෙන මෙරට පුහුණුකරුවන් දැනුවත් කිරීම, ආසියාතික තරඟ, පොදු රාජ්‍ය මණ්ඩලීය තරග, olympic ආදී තරඟ සඳහා සහභාගී වීමට එම නව තාක්ෂණික ක්‍රමවේද වල අද්දැකීම ලබා තිබීම අනාගත ජයග්‍රහණ වෙනුවෙන් ආයෝජනයක් වන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ ය.
මෙම අවස්ථාවට රමේෂ් තරංග ක්‍රීඩකයාගේ පියා සහ පුහුණුකරුත්, speed sports පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂක එම්.අස්කර් අලි මහතා සහභාගී වූ අතර එම්. අස්කර් අලි මහතා විසින් රුමේෂ් තරංග ක්‍රීඩකයාට අවශ්‍ය ක්‍රීඩා උපකරණ ලබා දීම ද සිදු කෙරිණි.