19න් පහළ ආසියානු කුසලාන තරගාවලියේ අවසන් මහා තරගය ඉන්දියාව හා පාකිස්තානය අතර අද පැවැත්වුණා. එම තරගයෙන් ඉන්දියාව පරදා ලකුණු 191ක ජයක් ලබාගැනීමට පාකිස්තාන 19න් පහළ කණ්ඩායම සමත් වුණා.
කාසියේ වාසිය දිනූ ඉන්දීය කණ්ඩායම මුලින්ම පන්දුරැකීමට තීරණය කළා. ඒ අනුව, ආක්‍රමණකාරී පිතිකරනයක් දියත් කළ පාකිස්තානු කණ්ඩායම පන්දුවාර 50 අවසානයේදී කඩුලු 8ට ලකුණු 347ක් ලබාගැනීමට සමත් වුණා.
විශිෂ්ට පිතිකරණයක් දියත් කළ සමීර් මින්හාස් ලකුණු 172ක් ලබාගත් අතර අහමඩ් හුසේන් ලකුණු 56ක් හා උස්මාන් කාන් ලකුණු 35ක් ලබාගත්තා.
ඉන්දියාව වෙනුවෙන් දීපේෂ් දේවේන්ද්‍රන් කඩුලු 3ක් ලබාගත් අතර හෙනිල් පටෙල් හා කිලාන් පටෙල් කඩුලු 2 බැගින් දවාගත්තා.
මෙම දැවැන්ත ලකුණු අභියෝගය හඹායෑමට පිටියට පිවිසි ඉන්දීය 19න් පහළ කණ්ඩායමේ සියලු කඩුලු 27වන පන්දුවාරය වන විට දැවී ගිය අතර ලබාගැනීමට හැකිවුණේ ලකුණු 156ක් පමණයි.
ඉන්දියාව වෙනුවෙන් සාර්ථක ආරම්භයක් ලබාගැනීමට වෛභව් සූර්යවංශි සමත් වුන ද, ලකුණු 26ක් ලබාසිටියදී ඔහු දැවීගියා. එතැන් පටන් ඉන්දීය ඉනිම කඩාවැටීම ආරම්භ වුණා.
පාකිස්තානය වෙනුවෙන් අලී රාසා කඩුලු 4ක් දවාගත් අතර මොහොමඩ් සයියම්, අබ්දුල් සුබාන් හා හුසයිෆා අසාන් කඩුලු 2 බැගින් දවාගත්තා.
ඒ අනුව අවසන් මහා තරගය ලකුණු 191කින් ජයගත් පාකිස්තානු 19න් පහළ කණ්ඩායම යොවුන් ආසියානු ශූරයන් බවට පත්වුණා. අවසන් තරගයේ හා තරගාවලියේ වීරයා ලෙස සමීර් මින්හාස් නම්කෙරුණා.