ශ්රී ලංකාවේ පාපන්දු ක්රීඩාව ඉදිරි වසර හතර ඇතුළත රටේ ජනප්රියතම ක්රීඩාව බවට පත් කිරීමේ අරමුණින් සකස් කර ඇති පුළුල් සංවර්ධන සැලැස්මක් පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා FIFA සභාපති ජියානි ඉන්ෆැන්ටිනෝ මහතා අද අසර්බයිජානයේ බකු නගරයේදී ශ්රී ලංකාවේ තරුණ කටයුතු හා ක්රීඩා අමාත්ය ගරු සුනිල් කුමාර ගමගේ මහතා සහ ශ්රී ලංකා පාපන්දු සම්මේලනයේ (FFSL) සභාපති ජස්වාර් උමර් මහතා හමුවිය.
මෙම හමුවේදී ශ්රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායම සහ යොවුන් කණ්ඩායම් සංවර්ධනය කිරීම සඳහා FIFA ආයතනය විසින් ලබාදෙන පුළුල් සහයෝගය පිළිබඳව ක්රීඩා අමාත්ය සුනිල් කුමාර ගමගේ මහතා ශ්රී ලංකා රජයේ අවංක කෘතඥතාව පළ කළේය. පසුගිය වසර දෙක තුළ ශ්රී ලංකා පාපන්දු ක්රීඩාව අත්කරගෙන ඇති සැලකිය යුතු ප්රගතිය ද ඔහු අවධාරණය කළේය.
එමෙන්ම, රට පුරා පාපන්දු ක්රීඩාව තවදුරටත් වේගයෙන් සංවර්ධනය කිරීම සඳහා FIFA සහ FFSL සමඟ සමීපව කටයුතු කිරීමට රජයේ ඇති කැපවීම ද අමාත්යවරයා යළි තහවුරු කළේය.
ශ්රී ලංකා පාපන්දු ක්රීඩාව ඊළඟ මට්ටමට ඔසවා තැබීම සඳහා FIFA ආයතනයේ කැපවීම එහි සභාපති ජියානි ඉන්ෆැන්ටිනෝ මහතා යළිත් තහවුරු කළේය. ශ්රී ලංකාවේ ජාත්යන්තර මට්ටමේ නවීන පාපන්දු ක්රීඩාංගණයක් ඉදිකිරීම කෙරෙහි විශේෂ අවධානය යොමු කරමින්, අත්යවශ්ය ක්රීඩා යටිතල පහසුකම් සංවර්ධනය කිරීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරිණි.
යෝජිත සංවර්ධන වැඩසටහනේ කොටසක් ලෙස, ඉදිරි වසර හතරක සංවර්ධන චක්රය තුළ ජාතික කණ්ඩායම, යොවුන් කණ්ඩායම්, කාන්තා පාපන්දු ක්රීඩාව, පුහුණුකරුවන් සහ විනිසුරුවන්ගේ සංවර්ධනය සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 25ක මූල්ය සහායක් FIFA වෙතින් ලබාදීමට අපේක්ෂා කෙරේ.
සෑම දිස්ත්රික්කයකම පාපන්දු ක්රීඩාංගණ
රට පුරා පාපන්දු යටිතල පහසුකම් පුළුල් කිරීම සඳහා ප්රධාන වැඩසටහනක් ක්රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. ඒ යටතේ ලබන වසරේ සිට සෑම දිස්ත්රික්කයකම පාපන්දු ක්රීඩාංගණ ඉදිකිරීම ආරම්භ කිරීමට නියමිතය.
මෙම දැක්මට සමගාමීව, 2031 වසර අවසන් වන විට FFSL සාමාජික ලීග් හරහා පාපන්දු ක්රීඩාංගණ 40කට ආසන්න සංඛ්යාවක් සංවර්ධනය කිරීමට FFSL සැලසුම් කරයි.
මෙම වැඩසටහන මඟින් දරුවන්ට, තරුණ තරුණියන්ට සහ ප්රජාවන්ට පාපන්දු ක්රීඩාවට සහභාගී වීම සඳහා වැඩි අවස්ථා නිර්මාණය වනු ඇත.
ජාතික ඉහළ කාර්යසාධන මධ්යස්ථානය
ශ්රී ලංකාවේ ජාතික ඉහළ කාර්යසාධන මධ්යස්ථානයක් (National High-Performance Centre) ස්ථාපිත කිරීමේ යෝජනාව පිළිබඳව ද මෙම හමුවේදී අවධානය යොමු විය.
FFSL සමඟ ඇති හවුල්කාරිත්වය තුළින් යෝජිත මධ්යස්ථානය සඳහා අවශ්ය තාක්ෂණික විශේෂඥ දැනුම සහ යටිතල පහසුකම් සංවර්ධන සහාය ශ්රී ලංකාවේ තරුණ කටයුතු හා ක්රීඩා අමාත්යාංශයට ලබාදීමට FIFA ආයතනය සහාය වනු ඇත.
ක්රීඩක ක්රීඩිකාවන්ගේ දක්ෂතා වර්ධනය කිරීම, පුහුණුකරණයේ ප්රමිතීන් ඉහළ නැංවීම සහ විවිධ ක්රීඩා ක්ෂේත්රවල දක්ෂ ශ්රී ලාංකික ක්රීඩක ක්රීඩිකාවන්ට ජාත්යන්තරයේ ඉහළම මට්ටම් කරා ළඟා වීමට වෘත්තීය මාවතක් නිර්මාණය කිරීම සඳහා මෙම මධ්යස්ථානය වැදගත් කාර්යභාරයක් ඉටු කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.
ශ්රී ලංකා පාපන්දු ක්රීඩාවේ නව යුගයක්
මෙම සාකච්ඡා ශ්රී ලංකා රජය, FIFA සහ FFSL එක්ව ජාතික මට්ටමින් සම්බන්ධීකරණය වූ වැඩපිළිවෙළක් ක්රියාත්මක කිරීම සඳහා ගත් වැදගත් පියවරක් ලෙස සැලකේ. එහි අරමුණ වන්නේ පාපන්දු ක්රීඩාවට සහභාගී වන පිරිස පුළුල් කිරීම, ක්රීඩා යටිතල පහසුකම් ශක්තිමත් කිරීම සහ සමස්ත ක්රීඩා මට්ටම ඉහළ නැංවීමයි.
ලබන වසරේ සිට ක්රියාත්මක කිරීමට අපේක්ෂිත සංවර්ධන වැඩසටහන් මාලාව මඟින් රටේ සෑම ප්රදේශයකම, සෑම පුද්ගලයෙකුටම පාපන්දු ක්රීඩාවට ප්රවේශ වීමේ අවස්ථා පුළුල් වනු ඇත. එමෙන්ම රට පුරා ක්රීඩක ක්රීඩිකාවන්ට, පුහුණුකරුවන්ට, විනිසුරුවන්ට සහ පාපන්දු ප්රජාවන්ට නව අවස්ථා රැසක් නිර්මාණය වනු ඇත.
ශ්රී ලංකා පාපන්දු ක්රීඩාවේ අනාගතය කේන්ද්ර කරගත් මෙම ඵලදායී හමුව අවසානයේ FIFA සභාපති ජියානි ඉන්ෆැන්ටිනෝ මහතා සහ ක්රීඩා අමාත්ය සුනිල් කුමාර ගමගේ මහතා සුහද අදහස් හුවමාරු කර ගත්හ.
දැක්ම පැහැදිලිය. ශක්තිමත් පාපන්දු ජාතියක් ගොඩනැඟීම, සෑම ප්රජාවක් වෙතම පාපන්දු ක්රීඩාව රැගෙන යාම සහ ඉදිරි වසර හතර ඇතුළත පාපන්දු ක්රීඩාව ශ්රී ලංකාවේ ජනප්රියතම ක්රීඩාව බවට පත් කිරීමයි.