තුන්කොන් විස්සයි 20 තරගාවලියේ ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර තීරණාත්මක තරගයෙන් ලකුණු 6ක තියුණු ජයක් ලැබීමට ශ්‍රී ලංකාව සමත් වුණා.
මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 5ක් දැවී ලකුණු 184ක් ලබාගත්තා. සාර්ථක ඉනිමක් ක්‍රීඩා කරමිනාරම්භක පිතිකරු කමිල් මිශාර පන්දු 48ට ලකුණු 76ක් ලබාගත්තා. මිශාරට අගනා සහයක් දක්වමින් කුසල් මෙන්ඩිස් පන්දු 23ට ලකුණු 40ක් ලබාගත්තා.
පන්දු යැවීමේදී පාකිස්තානය වෙනුවෙන් අබ්රාර් අහමඩ් කඩුලු 2ක් හා සල්මන් මිර්සා සමගින් සයීම් අයූබ් එක් කඩුල්ල බැගින් දවාගත්තා.
පිලිතුරු ඉනිම ක්‍රීඩා කළ පකිස්තානු කණ්ඩායමේ පළමු කඩුලු 4 ලකුණු 43ට දවාගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුණා. ඉන්පසු නායක සල්මන් අලි අගා උස්මාන් කාන් සමගින් ලකුණු 56ක සබඳතාවයක් ද, මොහොමඩ් නවාස් සමග ලකුණු 70ක සබඳතාවයක්ද ගොඩනැගුවේ නැවතත් තරගය පාකිස්තානය දෙසට ඇදගනිමින්.
අවසන් පන්දුවාරයේදී පාකිස්තානයට ජයග්‍රහණය සඳහා අවශ්‍යය වූයේ ලකුණු 10ක් පමණයි. දුශ්මන්ත චමීරගේ විශිෂ්ට පන්දු යැවීම හමුවේ ඔවුන්ට ලබාගැනීමට හැකිවුණේ ලකුණු 3ක් පමණයි.
පාකිස්තානය වෙනුවෙන් සල්මන් අගා නොදැවී ලකුණු 63ක් ලබාගත් අතර උස්මාන් කාන් ලකුණු 33ක් ලබාගත්තා. පන්දු යැවීමේදී අද දින තරගයේ වීරයා වූ දුශ්මන්ත චමීර ලකුණු 20ට කඩුලු 4ක් ලබාගත් අතර, එෂාන් මාලිංග කඩුලු 2ක් හා වනිදු හසරංග එක් කඩුල්ලක් දවාගත්තා.
මේ ජයග්‍රහණයත් සමග ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තුන්කොන් තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලැබුවා. ඒ අනුව 29 වනදා අවසන් මහා තරගයේදී නැවතත් ශ්‍රී ලංකා කණ්ඩායම හා පාකිස්තානු කණ්ඩායම හමුවීමට නියමිතයි.