ශ්රී ලංකා, ඉන්දියා හා ඇෆ්ගනිස්තාන් ඒ කණ්ඩායම් අතර තුන්කොන් එක්දින තරගාවලිය ඊයේ දඹුල්ලේදී ආරම්භ කෙරුණා. ඉන්දීය ඒ කණ්ඩායම හා ශ්රී ලංකා ඒ කණ්ඩායම අතර පැවති ආරම්භක තරගයෙන් ලකුණු 8ක ජයක් ලැබිමට ඉන්දීය ඒ කණ්ඩායම සමත් වුණා.
කාසියේ වාසියෙන් පසුව පලමුවෙන් පන්දුවට පහරදීමට ඉන්දීය කන්ඩායම තීරණය කළ අතර නියමිත පන්දුවාර 50 අවසානයේදී ඔවුන් කඩුලු 6ට ලකුණු 277ක් ලබාගත්තා.
රුතුරාජ් ගයික්වාඩ් ලකුණු 101ක් ලබාගත් අතර නායක තිලක් වර්මා ලකුණු 60ක් හා ප්රියාන්ශ් ආර්යා ලකුණු 32ක් ලබාගත්තා.
ශ්රී ලංකා කණ්ඩායම වෙනුවෙන් මොහොමඩ් ශිරාස් කඩුලු 2ක් දවාගනිද්දී, චාමික කරුණාරත්න, ගරුක සංකෙත් හා වනුජ සහන් එක් කඩුල්ල බැගින් දවාගත්තා.
පිලිතුරු ඉනිම වෙනුවෙන් පිටියට පිවිසි ශ්රී ලංකා ඒ කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් යුවල වූ අවිශ්ක ප්රනාන්දු හා නිරෝශන් දික්වැල්ල පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 93ක සබඳතාවයක් ගොඩනැගුවා. එහිදී දික්වැල්ල ලකුණු 47ක් හා අවිශ්ක ලකුණු 45ක් ලබාගත්තා.
ශ්රී ලංකා කණ්ඩායම හඹායෑමේදී සාර්ථක ආරම්භයක් ලබාගත්ත ද එය තරගය ජයග්රහණය කරා රැගෙන යාමට සමත් වූයේ නැහැ. නායක සහන් ආරච්චිගේ ලකුණු 74ක් ලබාසිටියදී 7 වන කඩුල්ල ලෙස දැවීයද්දී ශ්රී ලංකා ඒ කණ්ඩායම ලකුණු 262ක් ලබාසිටි නමුත් ලකුණු 269ට ඉතිරි සියලු කඩුලු දවාගැනීමට ඉන්දීය පන්දු යවන්නන් සමත් වුණා.
එහිදී අර්ෂාද් කාන්, අනුකුල් රෝයි, ආයුෂ් බදෝනි හා විප්රාජ් නිගම් කඩුලු 2 බැගින් දවාගත්තා.
තුන්කොන් තරගාවලියේ මීළඟ තරගය ඇෆ්ගනිස්ථාන් ඒ කණ්ඩායම හා ඉන්දියානු ඒ කණ්ඩායම අතර හෙට පැවැත්වීමට නියමිතයි.