ලංකා ප්‍රිමියර් ලීග් 20-20 ක්‍රිකට් තරගාවලියේ ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම සමග පැවති තරගය කඩුලු 6 කින් ජය ගැනීමට කැන්ඩි රෝයල්ස් සමත්වුණා.
තරගය අද පැවැත්වුණේ, පල්ලේකැලේ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී.
තරගාවලියේ 16 වැනි තරගය ලෙස පැවති තරගයේ කාසියේ වාසිය හිමි කර ගත්තේ, ගෝල් ගැලන්ට්ස් කණ්ඩායමයි.
ඒ අනුව ඔවුන් පළමුවෙන් පන්දුවට පහර දෙමින්, පන්දුවාර 20 තුළ කඩුලු 3 ක් දැවී ලකුණු 208 ක් රැස් කළා. සෑම් හාර්පර් ලකුණු 72 යි.
චරිත් අසලංක නොදැවී ලකුණු 70 ක් ලබා ගත්තා. පන්දු යැවීමේදී කැන්ඩි රෝයල්ස් කණ්ඩායමේ සහීර් ඛාන් කඩුලු 2 ක් දවා ගත්තා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කැන්ඩි රෝයල්ස් කණ්ඩායම පන්දුවාර 18 යි පන්දු 5 ක් අවසානයේ කඩුලු 4 ක් දැවී ලකුණු 214 ක් ලබා ගනිමින් තරගය ජය ගත්තා.
විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ ලහිරු උදාර පන්දු 63 කදී නොදැවී ලකුණු 132 ක් රැස් කළා.
ඊට 4 පහර 15 ක් සහ 6 පහර 7 ක් ඇතුළත්. එය වාර්තා අතරට එක් වුණේ, ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියකදී පිතිකරුවෙකු ඉනිමකදී ලබා ගත් ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසයි.