දේශීය ක්‍රීඩා ක්ෂේත්රයේ නව පුනරුදයක අරුණලු සපයමින්, මීගමුව කොච්චිකඩේ ක්‍රිස්තු රාජ මහ විද්‍යාලයේ ක්‍රීඩා පිටිය යටිතල පහසුකම්වලින් සමන්විත පූර්ණ ක්‍රීඩාංගණයක් ලෙස සංවර්ධනය කිරීමේ සමාරම්භක උත්සවය 2026 නොවැම්බර් මස 09 වන අද දින පැවැත්විණි.
“පොහොසත් රටක් ලස්සන ජීවිතයක්” යන රාජ්‍ය ප්‍රතිපත්ති ප්රකාශනයට අනුගතව, ක්‍රීඩා යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ පළාත් මට්ටමේ වැඩපිළිවෙල යටතේ ක්‍රියාත්මක වන මෙම වැඩසටහන ඔස්සේ ජාතික හා ජාත්‍යන්තර තලයේ දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් බිහිකිරීමේ අරමුණින් ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය සඳහා වෙන් කර ඇති මුළු පිරිවැය රුපියල් 50,500,000.00 (මිලියන 50.5) කි. තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ පූර්ණ මූල්‍ය දායකත්වයෙන් සහ මීගමුව මහ නගර සභාවේ පූර්ණ අධීක්ෂණය යටතේ ආරම්භ වූ මෙම ව්‍යාපෘතිය මගින් පාසල් දරුවන්ට පමණක් නොව සමස්ත ප්‍රදේශයටම ක්‍රීඩාවෙන් ජයග්‍රහණ අත්පත් කරගැනීමට මෙන්ම නිරෝගී මානව සම්පතක් ගොඩනැගීමට සුරක්ෂිත මගපෑදීමක් සිදුවේ.
තවද උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න මහතා අදහස් දක්වමින් අවධාරණය කළේ, රජයේ “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්” සංකල්පයට අනුකූලව රට තුළ නව ක්‍රීඩා සංස්කෘතියක් ගොඩනැගීම අමාත්‍යාංශයේ මූලික ඉලක්කය බවයි.
“අපේ බලාපොරොත්තුව තියෙන්නේ ක්‍රීඩා සංස්කෘතියක් ඇති කරනවා හා සමගාමීව ජාත්‍යන්තර තලයේ පදක්කම් දිනීම කියන මාතෘකා දෙකම එකට ඉස්සරහට අරගෙන යාමයි. ග්‍රාමීය පාසල්වල යටිතල පහසුකම් නැංවීම තුළින් ජාතික හා ජාත්‍යන්තර තලයට පිවිසිය හැකි දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් බිහිකිරීමට අවශ්‍ය මූලික පදනම මෙලෙස සකස් වෙනවා.” — ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න මහතා
එමෙන්ම කටාන ආසනයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික හෙට්ටිආරච්චි මහතා සභාව අමතමින් පැවසුවේ, 2026-2029 කාලපරිච්ඡේදය සඳහා ජාතික ජන බලවේග රජය විසින් දිස්ත්‍රික්ක 25 ම ආවරණය වන පරිදි ක්‍රීඩාපිටි 400 ක් සංවර්ධනය කිරීමට අදාළ කැබිනට් අනුමැතිය ලබාගෙන ඇති බවයි.
ක්‍රීඩා පිටිය යනු හුදෙක් භෞතික ස්ථානයකට වඩා ජීවිතය ඉගෙන ගන්නා පාසලක් බව පෙන්වා දුන් මන්ත්‍රීවරයා, ජය පරාජය විඳදරාගැනීම, අන්‍යයන් ඉවසීම, අභියෝග ජයගැනීම සහ විනයගරුක පෞරුෂයක් ගොඩනැගීම ක්‍රීඩාංගණය තුළදී සිදුවන බව සඳහන් කළේය. රජයේ ප්‍රතිපත්තිය යටතේ පහත සඳහන් මූලික ක්ෂේත්‍ර කෙරෙහි විශේෂ අවධානය යොමු කර ඇත:
- ක්‍රීඩා ගුරුවරුන් බඳවා ගැනීම: පාසල් පද්ධතිය තුළ ක්‍රීඩා අධ්‍යාපනය සක්‍රීය කිරීමට අවශ්‍ය මානව සම්පත සපයා දීම.
- විශේෂ අවශ්‍යතා සහිත දරුවන් සබල ගැන්වීම: ආබාධ සහිත දරුවන්ට ක්‍රීඩාවට යොමුවීමට ඇති හැකියාවන් සොයාබලා ඔවුන්ට අවශ්‍ය පහසුකම් සපයා දීම.
- සෑම දරුවෙකුටම ක්‍රීඩා අවස්ථාවන් සැලසීම: සියලුම සිසුන් ක්‍රීඩාවකට සහභාගී කරවීම සඳහා යටිතල පහසුකම් හා ප්‍රතිපත්තිමය මාර්ගෝපදේශ සකස් කිරීම.
- සමාජීය සහජීවනය සහ සජීවීව පවත්වාගෙන යාම: ඉදිකෙරෙන ක්‍රීඩාංගණය අක්‍රීය වීමට නොදී, එය සජීවීව සහ සුරක්ෂිතව පවත්වාගෙන යාමේ වගකීම විදුහල්පතිතුමා, ගුරු මණ්ඩලය, දෙමාපියන් සහ සිසුන් සතු බව අවධාරණය කිරීම.
මෙම අවස්ථාව සදහා ගරු ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න මැතිතුමා, කටාන ආසනයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු චම්පික හෙට්ටිආරච්චි මැතිතුමා, මීගමුව මහානගර සභාවේ නගරාධිපති ගරු දුලිප් චාමර ප්‍රනාන්දු මැතිතුමා, මීගමුව ප්‍රාදේශීය ලේකම් රසිකා මල්වාරච්චි මැතිනිය, මීගමුව කලාප අධ්‍යාපන අධ්යක්ෂ කේ. එල්. ඒ. එස්. කඹුරුගමුව මැතිතුමා, මීගමුව ක්‍රිස්තු රාජ මහ විද්‍යාලයේ විදුහල්පති ඩබ්ලිව්. එම්. කේ. පී. කේ. ප්‍රනාන්දු මැතිතුමා , මීගමුව මහානගර සභාවේ නාගරික මන්ත්‍රීවරුන්, කලාප හා ප්‍රාදේශීය රාජ්‍ය නිලධාරීන්, ගුරුභවතුන්, දෙමාපියන් සහ සිසු දැරියන් ඇතුලු පිරිසක් සාහභාගි විය