ටෙස්ට් වාර්තා රැසක් බිහිකළ බංග්ලාදේශ – ශ්‍රී ලංකා පළමු තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 328ක විශිෂ්ට ජයක්..!!

March 25, 2024 - Sudarsha Warnakulasooriya

  • Cricket
  • Cricket News
  • Popular

ටෙස්ට් ක්‍රිකට් වාර්තා රැසක් බිහිකළ බංග්ලාදේශ – ශ්‍රී ලංකා පළමු තරගයෙන් ලකුණු 328ක විශිෂ්ට ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත් වුණා.

තරගය පැවැත්වුණේ, බංග්ලාදේශයේ සිල්හිට් හිදී.

තරගයේ පළමු ඉනිමට ශ්‍රී ලංකාව ලකුණු 280ක් රැස් කළා. එහිදී ධනංජය ද සිල්වා සහ කමිදු මෙන්ඩිස් ශතක වාර්තා කළා.

බංග්ලාදේශය පළමු ඉනිමට සියලු ක්‍රීඩකයින් දැවී රැස් කළේ, ලකුණු සංඛ්‍යාව 188ක් පමණයි.

ශ්‍රී ලංකා දෙවැනි ඉනිම ලකුණු 418යි. එහිදී ද කමිදු මෙන්ඩිස් සහ ධනංජය ද සිල්වා ශතක වාර්තා කිරීම විශේෂත්වයක්.

කමිදු ලකුණු 164ක් රැස් කළ අතර, ධනංජය ලකුණු 108යි.

ටෙස්ට්ක්‍රිකට් ඉතිහාසයේ එක් කණ්ඩායමක පිතිකරුවන් දෙදෙනෙකු ඉනිම දෙකේදීම ශතක වාර්තා කළ තුන්වැනි අවස්ථාව ලෙසයි, මෙය ඉතිහාසයට එක්වුණේ.

ඉනිම දෙකේදීම ලකුණු 150කට වඩා ඉහළ සබඳතාවක් ගොඩනැගීමට කමිදු සහ ධනංජය සමත් වුණා. එය ඉතිහාසයට එක්වුණේ, මෙවැනි දස්කමක් දැක්වූ ලොව තුන්වැනි පිතිකරු යුගලය ලෙසයි.

මේ අතර, මෙරට පිතිකරුවන් දෙදෙනෙකු ටෙස්ට් ඉනිම දෙකේදීම ශතක වාර්තා කළේ, වසර 10කට පසුව වීම ද විශේෂත්වයක්.

පිතිකරණ ලයිස්තුවේ හත්වැනි හෝ ඊට පහළින් පැමිණ ඉනිම දෙකේදීම ශතක වාර්තා කළ පළමු ක්‍රීඩකයා ලෙසයි, කමිදු මෙන්ඩිස් ඉතිහාසයට එක්වුණේ.

තරගය ජයගැනීම සඳහා බංග්ලාදේශයට හිමිවූ ඉලක්කය ලකුණු 511ක්.

නමුත් ඔවුන්ට සියලු ක්‍රීඩකයින් දැවී රැස් කරගැනීමට හැකිවුණේ, ලකුණු 182ක් පමණයි.

විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ කසුන් රජිත කඩුලු 05ක් දවා ගත්තා.

විශ්ව ප්‍රනාන්දු හා ලහිරු කුමාර අතර කඩුලු 02 බැගින් බෙදී ගියා.

තරගයේදී බංග්ලාදේශ ඉනිම දෙකේ සියලු කඩුලු දවා ගත්තේ, වේගපන්දු යවන්නන්වීම ද විශේෂත්වයක්. 1986 වසරෙන් පසුව මෙරට වේගපන්දු යවන්නන් එවැනි දස්කමක් දැක්වූ පළමු අවස්ථාව මෙයයි.

තරගයේ වීරයා ධනංජය ද සිල්වා.