නව වාර්තා රැසක් සමගින්, මුම්බයි ඉන්දියන්ස් සමඟ තරගය ජය ගැනීමට සන්රයිසස් හයිඩ්‍රාබාද් කණ්ඩායම සමත්වෙයි..!!

March 28, 2024 - Sudarsha Warnakulasooriya

  • Cricket
  • Cricket News
  • Popular
  • Recent
  • Sinhala
  • Trending

ඉන්දීය ප්‍රිමියර්ලීග් ක්‍රිකට් තරගාවලියේ නව වාර්තා රැසක් සමගින්, ඊයේ පැවති තරගය ජය ගැනීමට සන්රයිසස් හයිඩ්‍රාබාද් කණ්ඩායම සමත්වුණා.

ඒ, මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ලකුණු 31 කින් පරාජය කරමින්.
තරග‍ය පැවැත්වුණේ, හයිඩ්‍රාබාද්හි දී.

පළමුවෙන් පන්දුවට පහරදුන්, සන්රයිසස් හයිඩ්‍රාබාද් කණ්ඩායම කඩුලු 3 ක් දැවී ලකුණු 277 ක් රැස් කළා.

එය වාර්තා වන්නේ, අයි පී එල් තරගාවලි ඉතිහාසයේ කණ්ඩායමක් රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙසයි.

මීට පෙර රෝයල් චැලෙන්ජර්ස් බැංග්ලොර් කණ්ඩායම ලකුණු 263 ක් රැස්කරමින් එම වාර්තාව පිහිටුවා තිබුණා.

මේ අතර ට්‍රැවිස් හෙඩ් අයි පී එල් ඉතිහාසයේ වේගවත්ම අර්ධ ශතකය වාර්තා කළේ, පන්දු 18 කින්. ඔහු, රැස් කළ ලකුණු සංඛ්‍යාව 62 ක්.

හෙන්රිච් ක්‍රාසන් පන්දු 34 කදී නොදැවි ලකුණු 80 ක් රැස් කළේ, 4 පහර 4 ක් සහ 6 පහර 7 ක් සමග. අභිෂේක් ශර්මා ලකුණු 63 ක් සහ එයිඩ්න්මැක්‍රම් නොදැවි ලකුණු 42 ක් රැස් කළා‍.

පිළිතුරු ලෙස මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම පන්දුවාර 20 ඇතුළත කඩුලු 5 ක් දැවී ලකුණු 246 ක් ලබා ගත්තා.

ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ තිලක් වර්මා ලකුණු 64 ක් රැස් කළා.
ඔවුන් රැස් කළ එම ලකුණු සංඛ්‍යාව වාර්තා වන්නේ, අයි පී එල් ඉතිහාසයේ වැඩිම ලකුණු සංඛ්‍යාවක් රැස් කොට පරාජයවූ අවස්ථාව ලෙසයි.
මේ අතර, කණ්ඩායම් දෙක රැස් කළ සමස්ත ලකුණු සංඛ්‍යාව 523 ක්.
එය, මෙතෙක් ඉතිහාසයේ 20 – 20 තරගයක වාර්තා වූ වැඩිම ලකුණු සංඛ්‍යාවයි.

මෙම තරගයේ දී දෙපිලේ ක්‍රීඩකයින් 6 පහර 38 ක් වාර්තා කළා. එය 20 – 20 ඉතිහාසයේ තරගයක වාර්තා වූ වැඩිම 6 පහර සංඛ්‍යාව ලෙසයි, සටහන් වන්නේ.