කුසල් ජනිත් පෙරේරාගේ සුපිරි පිති හරඹය හේතුවෙන්, පකිස්තාන් සුපර් ලීග් 20 20 ක්‍රිකට් තරගාවලියේ ශූරතාව හිමිකර ගැනීමට ලාහෝර් කියුලැන්ඩර්ස් කණ්ඩායම සමත් වුණා.
ඔවුන් මෙම තරගාවලියේ ශූරතාව දිනූ තුන්වැනි අවස්ථාව මෙයයි.
ලාහෝර් කියුලැන්ඩර්ස් සහ ක්වේටා ග්ලැඩියේටර්ස් කණ්ඩායම් අතර අවසන් මහා තරගය ඊයේ පැවැත්වුණේ ලාහෝර්හිදී.
පළමුවෙන් පන්දුවට පහරදුන් ක්වේටා ග්ලැඩියේටර්ස් කණ්ඩායම, පන්දු වාර 20 ඇතුළත කඩුලු 9 ක් දැවී ලකුණු 201 ක් රැස්කළා.
හසන් නවාස් පන්දු 43 කදී ලකුණු 76 ක් රැස්කළේ, හතරේ පහර 8 ක් සහ හයේ පහර 4 ක් සමග.
අවිශ්ක ප්‍රනාන්දු ලකුනු 29 ක් සහ දිනේෂ් චන්දිමාල් ලකුණු 22 ක් රැස්කළා.
පන්දු යැවීමේදී ශහීන් ෂා අෆ්රිඩී කඩුලු 3 ක් දවාගත්තා. සල්මන් මිස්රා සහ හරීස් රාවුෆ් අතර කඩුලු දෙක බැගින් බෙදී ගියා.
පිළිතුරු ලෙස ලාහෝර් කියුලැන්ඩර්ස් කණ්ඩායම තරගය ජයගත්තේ පන්දු වාර 19 යි පන්දු 5 කදී කඩුලු 4 ක් දැවී ලකුණු 204 ක් රැස් කරමින්.
විශිෂ්ට පිතිහරඹයක නිතර වූ කුසල් පෙරේරා පන්දු 31 කදී නොදැවී ලකුණු 62 ක් රැස්කළා.
ඔහුගේ ඉනිමට හතරේ පහර 5 ක් සහ හයේ පහර 4 ක් ඇතුළත්.
මොහොමඩ් නයිම් ලකුණු 46 ක් රැස්කළ අතර අබ්දුල්ලා සාෆික් ලකුණු 41 යි. සිකන්දර් රාසා පන්දු 7 කදී නොදැවී ලකුණු 22 ක් රැස්කළා. තරගයේ වීරයා කුසල් ජනිත් පෙරේරා.