ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පළමු එක්දින ක්‍රිකට් තරගය හෙට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා. එක්දින තරගාවලියට තරග 3 ක් ඇතුළත්.
ශ්‍රී ලංකා – බංග්ලාදේශ එක්දින තරගාවලියේ පළමු තරග දෙක පැවැත්වෙන්නේ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී. හෙට තරගයට සූදානම් වන ශ්‍රී ලංකා ක්‍රීඩකයින්, අද පස්වරුවේ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පුහුණුවීම්වල නිරත වුණා.
මේ දක්වා දෙරට අතර පවත්වා ඇති එක්දින තරග සංඛ්‍යාව 57 ක්. ඉන් තරග 43 ක ජය හිමිකර ගෙන ඇත්තේ ශ්‍රී ලංකා කණ්ඩායමයි. තරග 12 ක ජය බංග්ලාදේශය සතුවුණා. තරග 2 ක් අවසන් වූයේ තීරණයකින් තොරවයි.
බංග්ලාදේශය අවසන් වරට එක්දින තරගාවලියක් සඳහා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වූයේ 2019 වසරේදී. එම තරගාවලිය තරග 3 ට 0 ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.
බංග්ලාදේශ ක්‍රීඩකයින් ශ්‍රී ලංකාවට එරෙහිව මෙරටදී එක්දින තරගාවලියක් මෙතෙක් ජයගෙන නැහැ.
කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී දෙරට අතර එක්දින තරග 10 ක් පවත්වා තිබෙනවා. එම සියලු තරග ජයගත්තේ ශ්‍රී ලංකාවයි.
හෙට තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම චරිත් අසලංකගේ නායකත්වයෙන් තරග වදින අතර බංග්ලාදේශ පිලට නායකත්වය ලබාදෙන්නේ මෙහෙදි හසන්. ඔහු බංග්ලාදේශ කණ්ඩායම මෙහෙයවන පළමු තරගය මෙයයි