ආසියානු ශූරතා මළල ක්‍රීඩා තරගාවලියේ මීටර් 400 ධාවන ඉසව්වේ අවසන් තරගයට සුදුසුකම් ලැබීමට කාලිංග කුමාරගේ සමත්වුණා. තරගාවලිය පැවැත්වෙන්නේ දකුණු කොරියාවේ ගුමී හීදී.
තරගාවලියේ මීටර 400 තුන්වැනි මූලික තරගයට සහභාගි වු කාලිංග කුමාරගේ ඉන් දෙවන ස්ථානය හිමිකර ගැනීමට සමත්වුණා. ඒ තත්පර 46.59 ක කාලයක් වාර්තා කරමින්. අනතුරුව ඔහු එහි අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලැබු අතර දෙවන අවසන් පූර්ව තරගයේදි කාලිංග දෙවැනි ස්ථානය හිමිකරගත්තා. ඒ තත්පර 45.74 ක කාලයක් වාර්තා කරමින්. කාලිංග කුමාරගේ මෙවර තරග සමයේ මීටර් 400 ධාවන ඉසව්වට වාර්තා කළ හොදම කාලයද මෙයයි. මීටර් 400 අවසන් තරගය හෙට ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 2.10 ට පැවැත්වීමට නියමිතයි.
මේ අතර, තරගාවලියේ මීටර 400 පළමු මූලික තරගයට සහභාගි වූ අරුණ දර්ශන තරගය නිමා කළේ, 6 වැන්නා ලෙසයි. ඔහු ඒ සඳහා ගත කළ තත්පර 48.10 ක්. අරුණ දර්ශනට අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමේ අවස්ථාව හිමි වූයේ නැහැ.
මීටර 400 කාන්තා මූලික තරගයට සහභාගි වූ නදීෂා රාමනායක අවසන් තරගයට සුදුසුකම් ලැබුවා. ඇය, මූලික වටයේදී තෙවැනි ස්ථානයට පත්වූ අතර, තරගය අවසන් කිරීමට ගත කළ කාලය තත්පර 53.77 ක්. නදීෂා රාමනායක සහභාගි වන අවසන් තරගය ලබන 29 වැනිදා පැවැත්වීමට නියමිතයි.
මීටර් 100 ධාවන ඉසව්වේ අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලැබීමට චමෝද් යෝධසිංහ සමත් වුණා. ඔහු සහභාගි වුණේ මීටර් 100 ධාවන ඉසව්වේ දෙවැනි මූලික තරගයට. එහිදි පළමුවැන්නා ලෙස තරගය අවසන් කළ ඔහු ඒ සඳහා ගතකළ කාලය තත්පර 10.40 ක්. ඒ අනුව, චමෝද් යෝධසිංහ තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබු අතර එය හෙට ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 1.45 ට පැවැත්වීමට නියමිතයි.