සංචාරක නවසීලන්ත කණ්ඩායම හා ඉන්දියාව අතර තරග පහකින් සමන්විත විස්සයි විස්ස තරගාවලියේ සිව්වන තරගය ඊයේ පැවැත්වුණා. එම තරගය ලකුණු 50කින් ජයගැනීමට සමත් වුණේ නවසීලන්ත කණ්ඩායමයි.
නවසීලන්ත කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දී ලබාගත් ලකුණු සංඛ්‍යාව කඩුලු 7ට ලකුණු 215ක්. මේ නවසීලන්ත කණ්ඩායම විස්සයි විස්ස තරගයකදී ඉන්දියාවට එරෙහිව ලබාගත් දෙවන වැඩිම ලකුණු සංඛ්‍යාවයි.
වේගවත් ආරම්භයක් ලබාගත් ටිම් සයිෆර්ට් පන්දු 36දී ලකුණු62ක් ලබාගත් අතර ඩෙවෝන් කොන්වේ පන්දු 23ට ලකුණු 44ක් ලබාගත්තා.
මේ ආරම්භක පිතිකරුවන් දෙදෙනා පවර් ප්ලේ පන්දුවාර 6 අවසානයේදී කිසිවෙකු නොදැවී ලකුණු 71ක් ලබාගත් අතර, එය නවසීලන්තය ඉන්දියාවට එරෙහිව වාර්තා කළ හොදම පවර් ප්ලේ ලකුණු සංඛ්‍යාවයි.
අවසන් පන්දුවාර කිහිපය සඳහා පිටියට පිවිසි ඩැරල් මිචෙල් නොදැවී පන්දු 19කින් ලකුණු 39ක් ලබාගත්තා.
පන්දු යැවීමේදී ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් අර්ෂදීප් සිං හා කුල්දීප් යාදෙව් කඩුලු 2 බැගින් දවාගැනීමට සමත් වුණා.
පිලිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි ඉන්දීය ප්‍රෙවේගකාරී පිතිකරු අභිෂේක් ශර්මාගේ කඩුල්ල පලමු පන්දුවෙන්ම දවාගැනීමට මැට් හෙන්රි සමත් වුණා.
එතැන් සිට වරින් වර කඩුලු බිඳ වැටුණ ඉන්දීය ඉනිම වෙනුවෙන් ජීවය ගෙන ආවේ ශිවම් ඩුබේ විසින්. ඔහු ඉන්දියාව වෙනුවෙන් තුන්වන වේගවත්ම අර්ධ ශතකය ලබාගත් අතර පන්දු 23ට ලකුණු 65ක් ලබාසිටියදී දුවද්දී දැවී ගියා.
ඒ අනුව ඉන්දීය ඉන්මේ සියලු කඩුලු ලකුණු 165ට දැවී ගිය අතර නවසීලන්තයට ලකුණු 50ක ජයග්‍රහණයක් හිමිවුණේ.
කෙසේ වෙතත්, මෙම තරගාවලියේ පළමු තරග 3ම ඉන්දියාව ජයගත් අතර තරගාවලියේ ජය 3-1ක් ලෙස තවත් තරගයක් ඉතිරිව තිබියදී ඉන්දියාව හිමිකරගෙන තිබෙනවා.