ඊයේ පැවති දිල්ලි කැපිටල්ස් හා පංජාබ් කිංග්ස් කණ්ඩායම් අතර තරගයෙන් කඩුලු 3ක ජයක් ලැබීමට දිල්ලි කන්ඩායම සමත් වුණා. ඒ පංජාබ් කණ්ඩායමේ ලකුණු 210ක ඉලක්කය සාර්ථකව හඹායමිනුයි.
මුලින්ම පන්දුවට පහර දුන් පංජාබ් කිංග්ස් කණ්ඩායම කඩුලු 5ක් පමනක් දැවී ලකුණු 210ක් ලබාගැනීමට සමත් වුණා. පංජාබ් ඉනිම වෙනුවෙන් නායක ශ්‍රේයස් අයියර් නොදැවී පන්දු 36කින් ලකුණු 59ක් හා ආරම්භක පිතිකරු ප්‍රියාන්ෂ් ආර්යා පන්දු 33කින් ලකුණු 56ක් ලබාගත්තා.
කැපිටල්ස් කණ්ඩායම වෙනුවෙන් මිචෙල් ස්ටාර්ක් හා මාධව් තිවාරි කඩුලු 2 බැගින් දවාගත් අතර මුකේෂ් කුමාර් එක් කඩුල්ලක් දවාගත්තා.
පිලිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි දිල්ලි කැපිටල්ස් කණ්ඩායමේ පළමු කඩුලු 3 ලකුණු 33ට දැවී ගියා. කණ්ඩායම ජයග්‍රහණය සඳහා රැගෙන යමින් නායක අක්සාර් පටෙල් පන්දු 30කින් ලකුණු 56ක් ලබාගත් අතර ඩේවිඩ් මිලර් පන්දු 28ට ලකුණු 51ක් ලබාගැනීමට සමත් වුණා.
ඉන්පසු අශුතෝෂ් ශර්මා, මාධව් තිවාරි හා ආකිබ් නබී වේගවත් කෙටිීනිම් දියත් කරමින් කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ආවේ තවත් පන්දුවාරයක් ඉතිරිව තිබියදීයි.
ඒ අනුව දිල්ලි කැපිටල්ස් කණ්ඩායම කඩුලු 7ක් දැවී ලකුණු 216ක් ලබාගත් අතර පංජාබ් කණ්ඩායම වෙනුවෙන් අර්ෂ්දීප් සිං හා යෂ් තාකූර් කඩුලු 2 බැගින් දවාගත්තා.
මේ ජයග්‍රණයෙන් පසු දිල්ලි කැපිටල්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ 7වන ස්ථානයට පැමිණි අතර පංජාබ් කිංග්ස් කණ්ඩායම 4වන ස්ථානයට පැමිණියා.
මෙවර තරගාවලියේ 56 වන තරගය ගුජරාට් ටයිටන්ස් හා සන්රයිසස් හයිද්‍රබාද් කණ්ඩායම් අතර අහමදාබාද් හීදී පැවැත්වීමට නියමිතයි.