3 වන ආසියානු යොවුන් ක්‍රීඩා උළෙලට සහභාගී වන ක්‍රීඩක ක්‍රීඩකාවන් පිළිබඳව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවට සමගාමීව ජාතික මට්ටමේ ක්‍රීඩක ක්‍රිඩිකාවන් අට දෙනෙකුට පුහුණුවීම් සඳහා ශිෂ්‍යත්ව ලබාදීම ක්‍රීඩා අමාත්‍යාංශයේ ඩන්කන් වයිට් ශ්‍රවණාගාරයේදී පැවැත්වුණා.
දේශීය මල්ලව පොර ශූරිය වන නෙත්මි අහිංසා, හෙල්ල විසි කිරීමේ ක්‍රීඩක රුමේෂ් තරංග පතිරගේ, මීටර 400 ධාවන ශූර අරුණ දර්ශන, උස පැනීමේ ක්‍රීඩක ලෙසදු අර්ථවිදු, පිහිනුම් ශූරී හිරුකී ද සිල්වා, බැට්මින්ටන් ක්‍රීඩිකා රනිත්මා ලියනගේ, යොවුන් මල්ල ක්‍රීඩිකා තරුෂි අභිෂේකා හා වර්තමාන බැට්මින්ටන් ශූරයා වන විරේන් නෙත්තසිංහ යන අයට මෙහිදී ශිෂ්‍යත්ව හිමි වුණා.
ක්‍රීඩා තරග සහ විශේෂ පුහුණු සැසිවලට සහභාගි වී සිටීම නිසා රනිත්මා ලියනගේ, තරුෂි අභිෂේකා හා විරේන් නෙත්තසිංහ මෙම අවස්ථාවට සහභාගි නොවූ අතර ඔවුන්ට හිමි ශිෂ්‍යත්ව දෙමාපියන් විසින් භාරගනු ලැබුවා.
මෙහිදී, ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටුවේ සභාපති සුරේෂ් සුභ්‍රමණියම් මහතා, මෙවර ආසියානු යොවුන් ක්‍රීඩා උළෙලට සහභාගී වන ක්‍රීඩක ක්‍රිඩිකාවන් අමතා ප්‍රකාශ කළේ, ඔවුන්ටද කැපවීම තුළින් දක්ෂතා ඔපමට්ටම් කරගතහොත් මෙවැනි ශිෂ්‍යත්ව දිනා ගැනීමේ අවස්ථාවක් ඇති බවය.
මෙය එවැනි ඉලක්කයක් සිතෙහි වර්ධනය කර ගැනීමට හොඳ අවස්ථාවක් බවද ඔහු වැඩිදුරටත් පවසා සිටියා.