ඔලිම්පික් මෙහෙයුම ‘ මිෂන් ඔලිම්පික් 2028 ජර්නි ටු රිංග්ස් ‘ වැඩසටහන අද ආරම්භ කෙරුණා. 2028 ලොස්ඇන්ජලීස් ක්‍රීඩා උලෙළේදී ශ්‍රී ලංකාවට පදක්කමක් හිමි කර ගැනීම මෙම වැඩසටහනේ අරමුණයි.
ක්‍රිඩා අමාත්‍යංශයේ ඩන්කන් වයිට් ශාලාවේ පැවති උත්සවයකදී මෙම වැඩසටහන හඳුන්වා දෙනු ලැබුවා.
ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතාගේ උපදෙස් මත ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ පූර්ණ අධීක්ෂණය යටතේ මෙය ක්‍රියාත්මකයි.
අද පැවති වැඩසටහනට ක්‍රීඩා අමාත්‍යවරයා, නියෝජ්යන අමාත්‍යය සුගත් තිලකරත්න, තරුණ කටයුතු නියෝජ්යය අමාත්‍යය එරංග ගුණසේකර යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියා.
මිෂන් ඔලිම්පික් වැඩසටහන යටතේ මේ වන විට ජාත්‍යයන්තර තලයේ දක්ෂතා ඇති ක්‍රීඩක ක්‍රීඩිකාවන් 85 දෙනෙකු සහ ඔවුන්ගේ පුහුණුකරුවන් සඳහා මූල්‍යය ආධාර පිරිනැමෙනවා.
එම ක්‍රීඩක ක්‍රීඩිකාවන් කාණ්ඩ 4 කට බෙදා වෙන් කර ඇති බවයි අද පැවති උත්සවයේදී සඳහන් කෙරුණේ.
ඒ අනුව, පළමු කාණ්ඩයේ ක්‍රීඩකයෙකු සඳහා මසකට රුපියල් එක්ලක්ෂ පනස්දහසක් සහ ඔවුන්ගේ පුහුණුකරුවන් සඳහා රුපියල් ලක්ෂයක මුදලක් පිරිනැමෙනවා.
දෙවැනි කාණ්ඩයේ ක්‍රීඩ්කයෙකුට රුපියල් ලක්ෂයක් සහ පුහුණුකරුවන් සඳහා රුපියල් හැටපන්දහසක් පිරිනැමෙන අතර, තුන්වැනි කාණ්ඩයේ ක්‍රීඩකයෙකුට පිරිනැමෙන මුදල රුපියල් හැත්තෑපන්දහසක්.
ඔවුන්ගේ පුහුණුකරුවන් සඳහා රුපියල් පනස්දහසක් පිරිනමනු ලබනවා. සිව් වන කාණ්ඩයේ ක්‍රීඩකයෙකුට රුපියල් පනස්දහසක් සහ ඔවුන්ගේ පුහුණුකරුවන් සඳහා පිරිනැමෙන මුදල රුපියල් තිස්දහසක්.
ක්‍රීඩා අමාත්‍යයවරයා සඳහන් කළේ, මේ වසරේ අප්‍රේල් මාසයේ සිට ක්‍රියාත්මක වන පරිදි මෙම ගෙවීම් සිදු කෙරෙන බවයි.
මෙම ක්‍රීඩකයින් අතුරින් ජාත්‍යයන්තර පුහුණුවීම් සදහාද ක්‍රීඩක ක්‍රීඩිකාවන් යොමු කෙරෙන අතර, ඊට අවශ්‍යය ප්‍රතිපාදන වෙන් කර තිබෙනවා. ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා පෝෂණ දීමනාවක් ලෙස රුපියල් හැටදහසක්ද මාසිකව ලබාදීමට නියමිතයි.