ශ්‍රි ලංකා ඒ කණ්ඩායම හා නවසීලන්ත ඒ කණ්ඩායම අතර තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ දෙවන තරගය ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 44කින් ජයගැනීමට ශ්‍රී ලංකා ඒ කණ්ඩායම සමත් වුණා. තරගය පැවැත්වුණේ සූරියවැව ජාත්‍යයන්තර පිටියේදී යි.
කාසියේ වාසිය දිනා ශ්‍රී ලංකා ඒ කණ්ඩායම පළමුවෙන්ම පන්දුවට පහරදීමට තීරණය කළා. ඒ අනුව පන්දුවාර 50 අවසානයේ ශ්‍රී ලංකා ඒ කණ්ඩායම කඩුලු 9ක් දැවී ලකුණු 368ක් රැස් කළා.
වර්ෂාවෙන් බාධා ඇති වු නිසා නවසීලන්ත ඒ කණ්ඩායමට ජයග්‍රහණය සඳහා ඉලක්කය වූයේ, ඩක්වර්ත් ලුවින් න්‍යායට අනුව, පන්දුවාර 28කට ලකුණු 203ක්. නමුත් ඔවුන්ට පන්දුවාර 28 අවසානයේ ලබාගැනීමට හැකිවුණේ කඩුලු 3ට ලකුණු 158ක් පමණයි.
ශ්‍රී ලංකා ඒ කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ ආරම්භක පිතිකරු ලසිත් කෲස්පුල්ලේ පන්දු 76ට ලකුණු 103ක් ලබාගත් අතර එම ඉනිමට හයේ පහර 6ක් හා හතරේ පහර 13ක් ඇතුලත් වුණා.
ඊට අමතරව නායක සහන් ආරච්චිගේ පන්දු 68ට ලකුණු 74ක් හා සොනාල් දිනූෂ පන්දු 77ට ලකුණු 93ක් ලබාගත්තා.
නවසීලන්ත ඒ කණ්ඩායම වෙනුවෙන් පන්දු යැවීමේදී ටිම් ප්‍රින්ගල් ලකුණු 58ට කඩුලු 3ක් හා ආදිත්‍ය අෂෝක් ලකුණු 60ට කඩුලු 2ක් දවාගත්තා.
නවසීලන්තය වෙනුවෙන් පිතිකරණයේදී කර්ටිස් හීෆි නොදැවී ලකුණු 53ක් හා ඩේල් පිලිෆ්ස් ලකුණු 34ක් ලබාගත්තා.
ඩිල්ෂාන් මධුසංක, මිලාන් රත්නායක හා රවිදු ෆර්නෑන්ඩු ශ්‍රී ලංකා ඒ කණ්ඩායම වෙනුවෙන් කඩුලු එක බැගින් ලබාගත්තා.
ඒ අනුව මෙම දෙවන එක්දින තරගය ජයගත් ශ්‍රී ලංකා ඒ කණ්ඩායම එක්දින තරගාවලිය තවත් තරගයක් ඉතිරිව තිබියදී තරග 2-0ක් ලෙස ජයග්‍ර්‍රහණය කළා.