පසුගිය නොවැම්බර් 12 වැනිදා සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවති අවුරුදු 20න් පහළ සමස්ත ලංකා ‘A’ කාණ්ඩයේ පළමු පෙළ (Tier 1) පැසිපන්දු ශූරතා අවසන් මහා තරගයේදී ආනන්ද විද්‍යාලය ලකුණු 65–58 ක් ලෙස පරාජය කරමින්, පිට පිටම තෙවැනි වරටත් ශූරතාව දිනා ගැනීමට කොළඹ ශාන්ත ජෝසප් විද්‍යාලය සමත් වුණා. ඒ අනුව පාසල් පැසිපන්දු පිටියේ සිය ආධිපත්‍යය තවදුරටත් තහවුරු කර ගැනීමට ශාන්ත ජෝසප් ක්‍රීඩකයෝ සමත් වුණා.
ශ්‍රී ලංකා පාසල් පැසිපන්දු සංගමය විසින් සංවිධානය කරන ලද මෙම තරගාවලිය නොවැම්බර් 7 වැනිදා ආරම්භ වූ අතර, අවසන් පූර්ව වටය දක්වා වූ සියලුම තරග සහිරා විද්‍යාලයීය ගෘහස්ථ පැසිපන්දු පිටියේදී පැවැත්වුණා.
නායක ඒඩ්‍රියන් විජයවර්ධනගේ මෙහෙයවීම යටතේ තරග වැදුණු ශාන්ත ජෝසප් කණ්ඩායම තරගාවලිය පුරා විශිෂ්ට දස්කම් දක්වමින් තරග 7 ම ජයගෙන අපරාජිත ශූරයන් ලෙස කිරුළු පැළදුවා.
මූලික වටයේදී ද මැසනඩ් විද්‍යාලයට එරෙහිව ලකුණු 62–26 ක විශිෂ්ට ජයග්‍රහණයකින් තරගාවලිය ආරම්භ කළ ශාන්ත ජෝසප් කණ්ඩායම, අනතුරුව රාජකීය විද්‍යාලය (48–43), මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය (67–51) සහ ත්‍රිත්ව විද්‍යාලය (61–54) පරාජය කරමින් අපරාජිතව ඉදිරියට පැමිණියා.
පිළිමළුන් පිටුදැකීමේ වටයේදී ඩී.එස්. සේනානායක විද්‍යාලය ලකුණු 64–45 ක් ලෙස පරාජය කරමින් අවසන් පූර්ව වටයට පිවිසි ඔවුහු, අවසන් පූර්ව තරගයේදී රාජකීය විද්‍යාලය ලකුණු 59–47 ක් ලෙස පරාජය කරමින් අවසන් මහා තරගයට සුදුසුකම් ලැබූවා.
ආනන්ද විද්‍යාලය සමඟ පැවති අවසන් මහා තරගය ඉතා තියුණු මුහුණුවරක් ගත් නමුත්, සිය සංයමය රඳවා ගනිමින් ක්‍රීඩා කළ ශාන්ත ජෝසප් ක්‍රීඩකයෝ ලකුණු 65–58 ක් ලෙස තරගය ජය ගනිමින් පිට පිටම තෙවැනි වරටත් ශූරතාව තමන් සතු කර ගත්තා.
තරගාවලියේ විශේෂ කුසලාන දිනා ගනිමින් ශාන්ත ජෝසප් ක්‍රීඩකයන් සිය දක්ෂතා තවදුරටත් ඔප්පු කළ අතර, තරගාවලියේ වටිනාම ක්‍රීඩකයා (MVP) ලෙස චමිඳු විජේසිංහ ද, හොඳම ආක්‍රමණශීලී ක්‍රීඩකයා ලෙස ඩැරන් බර්නාඩ් ද සම්මාන දිනා ගත්තා.
ඊට අමතරව, දැක්වූ විශිෂ්ට දස්කම් වෙනුවෙන් ඒඩ්‍රියන් විජයවර්ධන, ඩැරන් බර්නාඩ්, චමිඳු විජේසිංහ සහ ආරොන් ජෙරල්ඩ් යන ශාන්ත ජෝසප් ක්‍රීඩකයෝ සිව්දෙනා ‘මහජන බැංකු අනාගත වටිනාම ක්‍රීඩකයන්’ (People’s Bank Future MVPs) ලෙස නම් කෙරුනා.
රොෂාන් රන්දිම සහ ෂේන් ඩැනියෙල් යන පුහුණුකරුවන්ගේ මඟපෙන්වීම යටතේ කණ්ඩායම පුහුණුවීම් කළ අතර, චමත් ගිම්හාන සහය පුහුණුකරු ලෙසත් හේමාල් ප්‍රනාන්දු ක්‍රීඩා භාර ආචාර්යවරයා ලෙසත් කටයුතු කළහ. විද්‍යාලයීය අධ්‍යක්ෂ ගරු ගැමුණු ඩයස් පියතුමා, උප අධ්‍යක්ෂ ගරු සමිත් රංගන පියතුමා සහ ක්‍රීඩා භාර පියතුමා වන ගරු සමේෂ් ඇන්තනි පියතුමාගේ පූර්ණ ආශිර්වාදය සහ මඟපෙන්වීම ද කණ්ඩායමට හිමි වුණා.
ක්‍රීඩකයන්ගේ කැපවීම, විනය සහ කණ්ඩායම් හැඟීම මෙන්ම පුහුණු කාර්ය මණ්ඩලයේ උනන්දුව සහ විද්‍යාලයෙන් ලැබුණු සහයෝගය මෙම ජයග්‍රහණයට හේතු විය. පිට පිටම තෙවැනි වරටත් මෙම ශූරතාව දිනා ගැනීමත් සමඟ ශ්‍රී ලංකාවේ පාසල් පැසිපන්දු ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම බලවේගයක් ලෙස ශාන්ත ජෝසප් විද්‍යාලය සිය ස්ථානය තවදුරටත් තහවුරු කර ගෙන ඇත.
ඡායාරූප විස්තරය:
2026 අවුරුදු 20න් පහළ ශූර ශාන්ත ජෝසප් පැසිපන්දු කණ්ඩායම
වාඩි වී සිටින අය (වමේ සිට): ෂේන් ඩැනියෙල් (පුහුණුකරු), රොෂාන් රන්දිම (ප්‍රධාන පුහුණුකරු), ගරු සමේෂ් ඇන්තනි පියතුමා (ක්‍රීඩා භාර පියතුමා), ඩැරන් බර්නාඩ් (උප නායක), ගරු ගැමුණු ඩයස් පියතුමා (විද්‍යාලයීය අධ්‍යක්ෂ), ඒඩ්‍රියන් විජයවර්ධන (නායක), ගරු සමිත් රංගන පියතුමා (උප අධ්‍යක්ෂ), හේමාල් ප්‍රනාන්දු (ක්‍රීඩා භාර ආචාර්ය) සහ චමත් ගිම්හාන (සහය පුහුණුකරු).
සිටගෙන සිටින අය (වමේ සිට): අනුහස් පෙරේරා, යෙතුම් මුදලිගේ, ආරොන් ජෙරල්ඩ්, ඔවින් මාර්ටිනෝ, රෆායෙල් සුරවීර, චමිඳු විජයසිංහ, ඉසිඳු එදිරිසිංහ, ෂාහිඩ් රිල්වාන්, ප්‍රවීන් කාරියවසම් සහ සෙනුක් මාපලගම.