ශ්රී ලංකාව හා පාකිස්තානය අතර තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ පළමු තරගයේ තුන්වන දිනය අද රාවල්පිණ්ඩිහීදී අද පැවැත්වුණා. අද දිනට තරගය නිමාවන විට ශ්රී ලංකා කණ්ඩායම කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 404ක් ලබා සිටියා.
මෙම තරගයේ පලමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්තාන් කණ්ඩායම සිය පලමු ඉනිමට කඩුලු 9ක් දැවී ලකුණු 434ක් ලබාගත්තා.
ශ්රී ලංකාව වෙනුවෙන් අසිත ප්රනාන්දු සමගින් දිල්ශාන් මධුසංක කඩුලු 3 බැගින් දවාගත්තා.
පාකිස්තාන් නායක බාබර් අසාම්ගේ ආරාධනයෙන් සිය පළමු ඉනිම ආරම්භ කළ ශ්රී ලංකා කණ්ඩායමේ පළමු කඩුලු 2 ලකුණු12ට දැවී ගියා අතර තුන්වන කඩුල්ලට ලහිරු උදාර සමගින් කමිදු මෙන්ඩිස් ලකුණු 53ක සබදතාවයක් ගොඩනගමින් ඉනිමට යම් ස්ථාවරත්වයක් ගෙන දුන්නා.
ඉන් අනතුරුව ලහිරු උදාර ලකුණු 42ට දැවී ගිය අතර කමිඳු සමග එක්වූ ධනංජය සිල්වා සිව්වන කඩුල්ලට ලකුණු 90ක සබඳතාවයක් ගොඩනැගීමට සමත් වුණා. කමිඳු මෙන්ඩිස් ලකුණු 58ක් ලබා සිටියදී දැවී ගියා.
ඉන් අනතුරුව පිටියට පැමිණි නායක කුසල් මෙන්ඩිස් ධනංජය හා එක් වී පස්වන කඩුල්ල සඳහා ලකුණු 249ක නොබිඳුණු සබඳතාවයක් ගොඩනගමින් දිනය අවසානයේ ශ්රී ලංකාව ප්රභල තැනකට ඔසවා තැබුවා.
සිය 14වන ශතකය වාර්තා කළ ධනංජය සිල්වා තරගය නතර කරන විට ධනංජය සිල්වා නොදැවී 167ක් ලබා සිටි අතර කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 117යි.
ධනංජය හා කුසල් අතර ගොඩනැගුණු සබඳතාවය මෙතෙක් ශ්රී ලංකා කණ්ඩායම ටෙස්ට් තරගයකදී පාකිස්තානයේදී පස්වන කඩුල්ලට ලබාගත් හොඳම සබඳතාවය ලෙස සටහන් වූ අතර කුසල් මෙන්ඩිස් නායකත්වයට පත්වූ පසු තරග කළ පළමු ඉනිමෙන්ම ශතකයක් වාර්තා කළ පළමු ශ්රී ලාංකික ටෙස්ට් නායකයා බවට වාර්තා වුණා.
අද දිනට තරගය නතර කරන විට ශ්රී ලංකා කණ්ඩායම පාකිස්තානයට වඩා ඇත්තේ තවත් ලකුණු 30ක් පමණක් පසුපසින්.