සංචාරක නවසීලන්ත ඒ කණ්ඩායම හා ශ්‍රී ලංකා ඒ කණ්ඩායම අතර අද ආරම්භ වූ එක්දින තරගාවලිය පළමු තරගය ලකුණු 140කින් ජයගැනීමට ශ්‍රී ලංකා ඒ කණ්ඩායම සමත් වුණා. තරගය පැවැත්වුණේ ගාල්ල ක්‍රීඩා පිටියෙදීයි.
කාසියේ වාසිය දිනා නවසීලන්ත ඒ කණ්ඩායම මුලින්ම පන්දු රැකීමට තීරණය කළා. ඒ අනුව ශ්‍රී ලංකා ඒ කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 261ක් ලබාගත්තා. ඊට පිලිතුරු වශයෙන් නවසීලන්ත ඒ කණ්ඩායමට සියලු දෙනා දැවී ලබාගත හැකිවුණේ ලකුණු 121ක් පමණයි.
ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ප්‍රවේගකාරී ඉනිමක් ක්‍රීඩා කළ ආරම්භක පිතිකරු කමිල් මිශාර පන්දු 49ට ලකුණු 71ක් ලබාගත් අතර එම ඉනිමට හතරේ පහර 12ක් හා එක් හයේ පහරක් ඇතුලත් වුණා. ඔහුට අමතරව නායක සහන් ආරච්චිගේ ලකුණු 66ක් හා මිලාන් රත්නායක ලකුණු 53ක් ලබාගත්තා.
පන්දු යැවීමේදී නවසීලන්ත ඒ කණ්ඩායම වෙනුවෙන් ක්‍රිස්ටියන් ක්ලාර්ක් හා ආදිත්‍ය අශෝක් කඩුලු 2 බැගින් දවාගත් අතර පන්දු යැවූ අනෙකුත් පන්දු යවන්නන් පස්දෙනා එක් කඩුල්ල බැගින් ලබාගත්තා.
නවසීලන්ත ඒ කණ්ඩායම වෙනුවෙන් ඩේල් ෆිලිප්ස් ලකුණු 30ක් ලබාගත් අතර අනෙකුත් පිතිකරුවන් කිසිවෙකුට ලකුණු 20 සීමාව පසුකිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් ඉඩදුන්නේ නැහැ.
විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් වනුජ සහන් ලකුණු 13ට කඩුලු 5ක් බිඳහෙලුවා. ඊට අමතරව සොනාල් දිනූෂ කඩුලු 2ක් හා රවිඳු ෆර්නෑන්ඩු එක් කඩුල්ලක් ලබාගත්තා.
ඒ අනුව තරග තුනකින් සමන්විත මෙම එක්දින තරගාවලියේ පළමු තරගය ලකුණු 140කින් ජයගත් ශ්‍රී ලංකා ඒ කණ්ඩායම තරගාවලිය 1-0ක් ලෙස පෙරමුණ ගත්තා.
මෙම තරගාවලියේ සජීව විකාශය ශ්‍රී ලංකාව හා ඉන්දියාව හැර අනෙකුත් රටවල ජීවත් වන අයට Sporty.lk YouTube චැනලය හරහා දැක බලා ගත හැකිය.