ජපානයේ පැවැත්වෙන 2026 Aichi-Nagoya ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ නිලධාරීන් මුහුණ දුන් ප්‍රවාහන හා නවාතැන් පහසුකම් සම්බන්ධ ගැටලු පිළිබඳව සංවිධායක කමිටුව නිල වශයෙන් සමාව ඉල්ලා තිබේ.
Aichi-Nagoya 2026 ආසියානු ක්‍රීඩා උළෙලේ සංවිධායක කමිටුවේ මහලේකම් Satoshi Murate මාධ්‍ය හමුවකදී මෙම ගැටලු පිළිගෙන ඇති අතර, ඒවා සම්බන්ධයෙන් සංවිධායක කමිටුව වගකීම භාරගන්නා බවද සඳහන් කර තිබේ.
මෙවර ක්‍රීඩා උළෙල සඳහා මුලින් අපේක්ෂා කළ ප්‍රමාණයට වඩා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ නිලධාරීන් විශාල පිරිසක් අවසන් අවස්ථාවේ එක්වීම මෙම තත්ත්වයට ප්‍රධාන හේතුවක් වී ඇති බව සංවිධායකයින් පෙන්වා දෙයි.
සංවිධායකයින් මුලින් සැලසුම් කළ ප්‍රමාණයට වඩා 2,000කට ආසන්න අමතර ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ නිලධාරීන් එක්වීමත් සමඟ සමස්ත සහභාගිත්වය 17,000ක් පමණ දක්වා ඉහළ ගොස් තිබේ. එම අනපේක්ෂිත වැඩිවීම නවාතැන් සහ ප්‍රවාහන පද්ධතිවලට දැඩි පීඩනයක් ඇති කළ බව Reuters වාර්තාවේ සඳහන් වේ.
ඒ හේතුවෙන් ඇතැම් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ කණ්ඩායම් නිලධාරීන් ප්‍රවාහන ප්‍රමාදයන්, ප්‍රමාණවත් නොවන නවාතැන් පහසුකම්, කුඩා කාමර සහ ක්‍රීඩකයින්ට නොගැළපෙන ඇඳන් සම්බන්ධයෙන් පැමිණිලි කර තිබේ.
“නවාතැන් සහ ප්‍රවාහනය සම්බන්ධයෙන් විවිධ හේතු නිසා වැරදි සිදුවී තිබෙනවා. හේතුව කුමක් වුවත් එම සේවාවන් සැපයීමේ වගකීම AINAGOC සතුයි,” යනුවෙන් Satoshi Murate සඳහන් කරමින් සිදුවූ අඩුපාඩු සම්බන්ධයෙන් සමාව ඉල්ලා තිබේ.
විශේෂයෙන් දකුණු කොරියානු කණ්ඩායම ප්‍රවාහන සහ නවාතැන් ගැටලු සම්බන්ධයෙන් මීට පෙර දැඩි විවේචන එල්ල කර තිබුණි. දකුණු කොරියානු පිරිමි පැසිපන්දු කණ්ඩායමට නියමිත shuttle bus රථය නොපැමිණීම හේතුවෙන් පුහුණු සැසියක් අවලංගු කිරීමටද සිදුවූ බව Reuters මීට පෙර වාර්තා කළේය.
එමෙන්ම ඇතැම් ක්‍රීඩකයින් සඳහා ලබාදී තිබූ තාවකාලික නවාතැන් ඒකකවල ඉඩකඩ ප්‍රමාණවත් නොවීම සහ ඇඳන් උස ක්‍රීඩකයින්ට නොගැළපීම පිළිබඳවද පැමිණිලි ඉදිරිපත් වී තිබේ.
මෙවර Aichi-Nagoya ආසියානු ක්‍රීඩා උළෙල සඳහා සාම්ප්‍රදායික Athletes’ Village එකක් ඉදිකිරීම වෙනුවට හෝටල්, තාවකාලික නවාතැන් ඒකක සහ cruise ship නවාතැන් ඇතුළු විවිධ පහසුකම් භාවිත කිරීමට සංවිධායකයින් පියවර ගෙන තිබේ.
මෙම ගැටලු මධ්‍යයේ වුවද ආසියානු ක්‍රීඩා උළෙලේ තරග කටයුතු අඛණ්ඩව පැවැත්වෙන අතර, ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අවශ්‍ය පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා පියවර ගන්නා බව සංවිධායකයින් ප්‍රකාශ කර ඇත.