ශ්රී ලංකාව, පකිස්තානය සහ එංගලන්තය සහභාගි වන තුන්කොන් එක්දින ක්රිකට් තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලැබීමට ශ්රී ලංකාව අද සමත් වුණා. ඒ, පාකිස්තානය සමග පැවති තරගය කඩුලු 8කින් ජය ගනිමින්. තරගාවලියේ අවසන් තරගය ලබන සෙනසුරාදා ශ්රී ලංකාව සහ පාකිස්ථානය අතර පැවැත්වීමට නියමිතයි.
තරගය පැවැත්වුණේ, පාකිස්තානයේ ලාහෝර් හිදි. කාසියේ වාසිය දිනු ශ්රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට පාකිස්තානයට ආරාධනා කළා. ඔවුන්ගේ ඉනිම ආරම්භ කළේ ෆකර් සමාන් සහ මාස් සදාකට්. ආරම්භක කඩුල්ලේ සබඳතාව ලකුණු 11 ක් වනවිට ෆකර් සමාන් ලකුණු 5 කට දැවී ගියා. මාස් සදාකට් ලකුණු 8 ක් ලබාගත් අතර, සාද් බයිග් ලකුණු 5 යි.
පාකිස්තාන ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ බාබර් අසාම් ලකුණු 29 ක් රැස්කළා. හසන් නවාස් ලකුණු 17 යි. පකිස්තානය පන්දුවාර 25 යි පන්දු 3 කදී සියලු ක්රීඩකයින් දැවී රැස්කළ ලකුණු සංඛ්යාව 110 ක්. පන්දුයැවීමේදි ඩිල්ෂාන් මධුශංක ලකුණු 34 කට කඩුලු 5 ක් බිඳහෙලුවා. ඔහු තම එක්දින ක්රිකට් දිවියේ වාර්තා කළ හොඳම පන්දු යැවීම මෙයයි. පිළිතුරු ලෙස ලකුණු 110ක ඉලක්කයක් සමග ශ්රී ලංකා ඉනිම ආරම්භ කළේ, කමිඳු මෙන්ඩිස් සහ අවිශ්ක ප්රනාන්දු.
ආරම්භ කඩුල්ලේ සබඳතාව ලකුණු 50ක් වන විට අවිෂ්ක ලකුණු 16කට දැවී ගියා. නායක කුසල් මෙන්ඩිස් ලකුණු 8යි. ශ්රී ලංකා කණ්ඩායම තරගය පහසුවෙන් ජයගත්තේ, පන්දුවාර 18යි පන්දුවකදී කඩුලු 02ක් දැවී ලකුණු 114ක් රැස් කරමින්. තම එක්දින ක්රිකට් දිවියේ පස්වැනි අර්ධ ශතකය වාර්තා කළ කමිඳු මෙන්ඩිස් නොදැවී ලකුණු 62ක් ලබාගත්තා. පවන් රත්නායක නොදැවී ලකුණු 23යි.