ඉන්දියාව හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලියේ දෙවන තරගය ඊයේ රන්චි හීදී පැවැත්වුණා. එම තරගය කඩුලු 6කින් ජයගැනීමට බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සමත් වුණා.
කාසියේ වාසිය දිනූ කොදෙව් කණ්ඩායම මුලින් පන්දු රැකීමට තීරණය කළා. ඒ අනුව ඉන්දීය කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 249ක් ලබාගත්තා.
සංජු සැම්සන් පන්දු 41ට ලකුණු 82ක්, තිලක් වර්මා පන්දු 18ට ලකුණු 44ක්, ශ්‍රේයස් අයියර් පන්දු 18ට ලකුණු 40ක් හා ඉශාන් කිෂන් පන්දු 22ට ලකුණු 43ක් ලබාගත්තා.
කොදෙව් කණ්ඩායම වෙනුවෙන් රොස්ටන් චේස් කඩුලු 3ක් හා ශර්මාර් ස්ප්රින්ගර් කඩුලු 2ක් දවාගත්තා.
පිලිතුරු ඉනිම හඹාගිය කොදෙව් කණ්ඩායම 19 වන පන්දුවාරයේදී කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 252ක් ලබාගෙන තරගය ජයගැනීමට සමත් වුණා.
මෙම හඹායෑමේ ගාමක බලවේගය වූයේ ආරම්භක පිතිකරු ශේ හෝප්ගේ ඉනිමයි. ඔහු නොදැවී පන්දු 45ට ලකුණු 102ක් ලබාගත්තා. ඔහුට සහය වෙමින් ශර්ෆේන් රදර්ෆර්ඩ් පන්දු 37ට ලකුණු 84ක් ලබාගත් අතර රොමාරියෝ ශෙෆර්ඩ් නොදැවී ලකුණු 34ක් ලබාගත්තා.
ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් මයාන්ක් යාදව් කඩුලු 3ක් දවාගත්තා.
මේ හඹායෑම බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ හොදම සාර්ථක හඹායෑම වූ අතර මෙය ඉන්දියාවට එරෙහිව විස්සයි විස්ස තරගයක කණ්ඩායමක හොදම හඹා යෑමද වූවා.
මේ ජයග්‍රහණයත් සමග තරග 5කින් සමන්විත තරගාවලිය තරග 1-1ක් ලෙස සම් කරගැනීමට කොදෙව් කණ්ඩායම සමත් වුණා.