ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ජය පරාජයෙන් තොරව අවසන් වුණා.
ගාල්ල අන්තර් ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ටෙස්ට් ක්‍රිකට් තරගයක් ජය පරාජයෙන් තොරව අවසන් වුණේ වසර 12 කට පසුවයි.
2009 වසරේ සිට ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම නියෝජනය කල ඇනජලෝ මැතිව්ස් සහභාගී වූ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයද මෙයයි.
තරගය පැවැත්වුණේ ගාල්ල අන්තර් ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී. තරගයේ පළමු ඉනිමට බංග්ලාදේශය රැස් කළ ලකුණු 495 ට පිලිතුරු ලෙස ශ්‍රී ලංකාව පළමු ඉනිමට ලකුණු 485 ක් රැස් කළා.
අද දිනය සදහා තරගය ආරම්භ කරන විට බංග්ලාදේශය දෙවැනි ඉනිමට කඩුලු 3 ක් දැවී ලකුණු 177 ක් රැස් කර ගෙන සිටියා. නොදැවි පන්දුවට පහර දෙමින් සිටියේ නජ්මුල් හොසේන් ෂැන්ටෝ සහ මුශ්‌ෆිකර් රහීම්.
අද දිනයේ පළමු කඩුල්ල ලෙස මුශ්ෆිකර් රහීම් ලකුණු 49 කට දුවද්දී දැවී ගියා. ලීටන් ඩාස් ලකුණු 3 කටත් ජේකර් අලී ලකුණු 2 කටත් දැවී ගියා.
නායක නජ්මුල් හොසේන ෂැන්ටෝ තම ටෙස්ට් ක්‍රිකට් දිවියේ 7 වැනි ශතකය වාර්තා කිරීමට අද සමත් වුණා. ඔහු මෙම තරගයේ ඉනිම දෙකේදීම ශතක වාර්තා කිරීම විශේෂත්වයක්.
බංග්ලාදේශය දෙවැනි ඉනිමට කඩුලු 6 ක් දැවී ලකුණු 285 ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවීමට තීරණය කළා. නජ්මුල් හොසේන් ෂැන්ටෝ ලකුණු 125 යි.
තරගය ජය ගැනීම සදහා ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිවූ ඉලක්කය ලකුණු 296 ක්.
ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කලේ පැතුම් නිස්සංක සහ ලහිරු උදාර. ආරම්භක කඩුල්ලේ සබධතාව ලකුණු 32 ක් වන විට ලහිරු උදාර ලකුණු 9 කට දැවී ගියා. පැතුම් නිස්සංක ලකුණු 22 යි. ඇන්ජලෝ මැතිව්ස්ගේ අවසන් ටෙස්ට් ඉනිම ලකුණු 8 කට සීමා වුණා. දිනේෂ් චන්දිමාල් ලකුණු 6 යි.
ශ්‍රී ලංකා දෙවැනි ඉනිමේ පළමු කඩුලු 4 දැවී ගියේ ලකුණු 48 කට. අද තරගය නිමා වන විට ශ්‍රී ලංකා කණ්ඩායම දෙවැනි ඉනිමට කඩුලු 4 ක් දැවී ලකුණු 72 ක් ලබා සිටියා.