පාකිස්තානය සහ ශ්රී ලංකාව අතර පැවති දෙවැනි ටෙස්ට් තරගයෙන් කඩුලු 8ක පහසු ජයක් වාර්තා කිරීමට පාකිස්තාන කණ්ඩායම සමත් වුණා.
රාවල්පිණ්ඩිහිදී පැවති තරගයේ සිව්වැනි දිනය වූ අද (20) දිනයේදී ශ්රී ලංකා දෙවැනි ඉනිමේ අවසන් කඩුල්ලත් ලකුණු 316දී දවාගත් පාකිස්තාන පන්දු යවන්නන්ට, ජයග්රහණය සඳහා හිමි වූ ලකුණු 90ක ඉලක්කය හඹා යෑමට වැය වුණේ පන්දුවාර 13ක් පමණයි.
ශ්රී ලංකාව පළමු ඉනිමට රැස් කළේ ලකුණු 98ක් පමණක් වන අතර, පාකිස්තානය සිය පළමු ඉනිමට ලකුණු 325ක් රැස් කළා. ලකුණු 227ක් පිටුපසින් සිටිමින් දෙවැනි ඉනිම ආරම්භ කළ ශ්රී ලංකාව වෙනුවෙන් හොඳ සටනක් ලබා දුන් මිලාන් රත්නායක නොදැවී ලකුණු 66ක් රැස් කළ අතර, සොනාල් දිනූෂ ලකුණු 54ක් සහ කුසල් මෙන්ඩිස් ලකුණු 53ක් ලබා ගත්තා.
පාකිස්තානය වෙනුවෙන් පන්දු යැවීමේදී මොහොමඩ් අබ්බාස් සහ ආමර් ජමාල් කඩුලු 3 බැගින් දවාගත් අතර, රාසවුල්ලා කඩුලු 2ක් බිඳ හෙළුවා.
ලකුණු 90ක පහසු ඉලක්කයක් හඹා ගිය පාකිස්තානය වෙනුවෙන් ආමර් ජමාල් පන්දු 22කින් නොදැවී ලකුණු 34ක් ලබා ගනිමින් වේගවත් පිතිහරඹයක නිරත වුණා. අසාන් අවයිස් පන්දු 36කින් නොදැවී ලකුණු 32ක් රැස් කළා.
ශ්රී ලංකාව වෙනුවෙන් ලහිරු කුමාර සහ අසිත ප්රනාන්දු කඩුල්ල බැගින් දවාගත්තත්, පාකිස්තාන ජයග්රහණය වළක්වා ගැනීමට එය ප්රමාණවත් වුණේ නැහැ.
මේ අනුව තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය අවසන් වූයේ පාකිස්තානයට ජයග්රහණයක් හිමි කර දෙමින්. ශ්රී ලංකාව ක්රීඩා කළ පසුගිය ටෙස්ට් තරග හයකදීම ජයග්රහණයක් වාර්තා කිරීමට සමත් වී නැහැ. අනෙක් අතට පාකිස්තානයට ද තරග පහකට පසුව ලැබුණු පළමු ටෙස්ට් ජයග්රහණය මෙයයි.
අවසන් තරගයේ මෙන්ම තරගාවලියේ වීරයා ලෙසට මොහොමඩ් අබ්බාස් නම් කෙරුණා.