සංචාරක ශ්රී ලංකා කණ්ඩායම හා පාකිස්තානය අතර පැවැත්වෙන තරග 3කින් සමන්විත විස්සයි විස්ස තරගවලියේ අවසන් තරගය අද රාවල්පිණ්ඩි හීදී පැවැත්වීමට නියමිතයි.
ශ්රී ලංකා කණ්ඩායම මේ වන විටත් තරගාවලිය තරග 2-0ක් ලෙස පරාජය වී ඇති අතර, තරගාවලිය 3-0ක් ලෙස පරාජය වීම වලක්වාලීම සඳහා ශ්රී ලංකා කණ්ඩායම අද තරගයට ප්රවේශවීමට නියමිතයි.
පසුගිය වසර 2ක පමණ කාලයක් තිස්සේ ශ්රී ලංකා විස්සයි විස්ස කණ්ඩායමේ ස්ථාවර සංයුතියක් දක්නට නොලැබීම විශේෂත්වයක්. ක්රිකට් පරිපාලන අංශය නොයෙකුත් සංයෝජන අත්හදා බැලුවද එහි කිසිදු ස්ථාවරත්වයක් තවමත් දැකීමට අපහසුයි. කිසියම් පිතිකරුවෙක් එක් තරගයකදී සාර්ථක වූවත් එහි අඛණ්ඩතාවයක් දැකිය නොහැක.
පන්දු යැවීමේ අංශයේද විශාල පසුබෑමක් දැකිය හැකිය. දුශ්මන්ත චමීරගේ රිද්මය මේ වන විට බිඳවැටී ඇති බව පසුගිය තරග කිහිපය නැරඹීමේදී දක්නට ලැබුණා. ක්රීඩකයන් හට එවැනි කාලපරිඡේදයක් තිබිය හැකි වුවද, ඒ සඳහා සුදුසු ආදේශකයක් තිබිය යුතුය.
වනිඳු හසරංග ගේ අඩුව මෙම තරගාවලියේදී බෙහෙවින් බලපා තිබිය හැකි වූවද, ඔහු ක්රීඩා කළ මෑත තරගාවලි වලදීත් ශ්රී ලංකා කණ්ඩායම එතරම් සාර්ථක වී නැහැ.
කෙසේ වෙතත් අද තරගයට ශ්රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් සිදු කළ හැකි වූවද, සංචිතය දෙස බැලූ විට විශාල වෙනස්කමක් දැකිය නොහැකියි.
බොහෝ විට මහේෂ් තීක්ෂණ වෙනුවට වියාස්කාන්ත් කණ්ඩායමට ඒමට ඉඩ ඇතුවා මෙන්ම කමිල් මිශාරට තව අවස්ථාවක් හිමි විය හැකියි.
මේ වන විට තරගාවලිය ජයගෙන ඇති පාකිස්තානු කණ්ඩායමේ මුල් පෙළ පිතිකරුවෙක් හෝ දෙදෙනෙක් විවේක ගැන්වීමට ඉඩ ඇත. කෙසේ වුවත් මේ තරගාවලියේ පාකිස්තාන් මැද පෙළ පරීක්ෂාවට ලක් වූයේ නැහැ.
අද තරගය ශ්රී ලංකා වේලාවෙන් පස්වරු 6.30ට ආරම්භවීමට නියමිතයි.